මෙරට පරිභෝජනය සඳහා ගිය වසරේදී සහල් ඇටයක්වත් ගෙන්වීමට කටයුතු නොකළ ආකාරයෙන්ම මේ වසරේදී ද පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වන්නේ නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට මෙරට පරිභෝජනය සඳහා කීරි සම්බා සහල් වර්ගය පිටරටින් ගෙන්වීමට කටයුතු කරන බවට පැතිරෙන මතවාදය පිළිබඳ සිය මතය කුමක්දැයි ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා එසේ කීය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා කීරි සම්බා යනු බී.ජී 360 නම් සහල් වර්ගයයි. මෙය නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේ පමණයි. යම් අයකු කීරි සම්බා සහල් පිටරටින් ගෙන්වීමට යන්නේ නම් එය ගෙන්වන්නේ කුමන රටින්දැයි තමා නොදන්නා බව කීවේය.
මේ වසරේ මහ කන්නයේ වී අස්වැන්න නෙළීමේ කටයුතු මේ වන විට ආරම්භ වෙමින් පවතිනවා. මෙවර හෙක්ටයාර 780,000ක වී වගා කොට තිබෙනවා. ඉන් හෙක්ටයාර 80,000ක් වගා කොට තිබෙන්නේ කීරි සම්බායි. කීරි සම්බා මෙට්‍රික්ටොන් 350,000ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කොට තිබෙනවා. කීරි සම්බා කෙසේ වෙතත් පරිභෝජනයට සුදුසු සහල් වර්ගයක් නොවෙයි. විශේෂයෙන් දියවැඩියාව පැතිරවීමට කීරි සම්බා සහල් පරිභෝජනය හේතු වෙනවා. එහි ඇති කිරි රසයට මෙය පරිභෝජනය කළත් එය සෞඛ්‍ය සහ පෝෂණ ගැටලු ඇති කිරීමට ඉවහල් වන සහල් වර්ගයක් බව ඇමැතිවරයා කියා සිටියේය.
මේ අතර ආහාර කමිටුව පසුගියදා (03) රැස් වූ අවස්ථාවේදී සහල් ආනයනයට ගත් තීරණයට විරෝධය පළ කරමින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
සහල් ආනයනය කරන්නේ නම් එම සහල්වල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කළ යුතු බවටත් ඇමැතිවරයා ශ්‍රී ලංකා රේගුවේ නිරෝධායන අංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
මින් පෙර ආනයනික සහල් සාම්පල හයක් පරීක්ෂාවට ලක් කරන ලද අතර ඉන් පහකම කැඩ්මියම්, ඊයම් හා රසදිය වැනි මිනිස් සිරුරට හානි කර බැරලෝහ අඩංගු බවට වාර්තා වූ නිසා ඉදිරියේදී සහල් ආනයනය කරන්නේ නම් ඒවා බැර ලෝහ පරීක්ෂාවකින් තොරව නිදහස් නොකළ යුතු බවට ඇමැතිවරයා අදහස් පළ කර ඇත.