වාහන ආනයනය නවතා තිබියදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2023 වසරේ රුපියල් බිලියන 8.9කට (කෝටි 890) අධික ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.
දෙසැම්බර් මාසයේ පමණක් රුපියල් බිලියනයක ආදායමක් ඉපයීමට හැකියාව ලැබුණු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා “දිනමිණ“ට ඊයේ (04) පැවසීය.වාහන ආනයනය නවතා තිබියදී තම දෙපාර්තමේන්තුව මේ අනුව සියයට 317ක වර්ධනයක් උපයා ගැනීමට පියවර ගෙන ඇතැයි ද හෙතෙම කීවේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ආනයනය වැඩිපුරම සිදු කළ වසර වන 2018දී ආදායම් උපයා ඇත්තේ රුපියල් මිලියන 4322කි. 2018 වසරේදී ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 480,799ක් වන අතර වැඩිම ආදායමක් ලැබූ 2023 වසරේ ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 23,698කි.
2021 වසරේ රුපියල් මිලියන 2339ක්, 2020 වසරේ රුපියල් මිලියන 2255ක්, 2019 වසරේ රුපියල් මිලියන 3646ක්, 2018 වසරේ රුපියල් මිලියන 4322ක්, 2017 වසරේ රුපියල් මිලියන 3875ක්, 2016 වසරේ රුපියල් මිලියන 3644ක් ලෙස ආදායම් උපයා ඇත.
එමෙන්ම 2016 වසරේ වාහන 493,328ක් ද 2017 වාහන 451,653ක් ද 2018 නව වාහන ලියාපදිංචි වීම් 480,799කි.
2019 වසරේ වාහන 367,303ක්, 2020දී 202,628ක්, 2021දී 33,850ක් ද 2022 වාහන 20,511ක් ලෙසින් ද 2023 වාහන 23,698ක් ලෙසින් ද ලියාපදිංචි වී තිබේ.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ උපදෙස් මත ආදායම් වර්ධනය වැඩි කිරීම උදෙසා ලබා දුන් උපදෙස් අනුව මෙම ආදායම් වර්ධනය ලබා ගැනීමට හැකි වූ බව ද හෙතෙම සඳහන් කළේය.