අලදෙණිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක අනුව පෙරේදා (03) අරුප්පල ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකාරවරිය ඇතුළු සිව්දෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන් පිරිසක් මෙම සම්බාහන මධ්‍යස්ථානය වටලන අවස්ථාවේ එහි සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් එම ස්ථානයේ පලාගොස් ඇති අතර පසුව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂාවට ලක්කිරීමේදි ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 4.7ක් තිබී සොයා ගෙන ඇත.
මෙම කාන්තාව එම සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකාරිය බවටත් අනෙක් පුද්ගලයා ඇයගේ සහායකයා බවටත් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. මොවුන් දෙදෙනාට අමතරව එම සම්බාහන මධ්‍යස්ථානයේ සිටි සේවකයන් බව පැවසෙන තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 215ක් ද හමුවු බව ද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 29ත් 35ත් අතර වයස් කාණ්ඩවල පසුවන අයවලුන් වන බවත් එම පිරිස මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.