හැපුණු ලොරියේ ආ දෙදෙනාම මියගිය බව පොලිසිය කිවුවා
“මම වම් පැත්තේ දොර ඇරගෙන බිමට බැස්සා. ඒ වන විට එතැනට සෙනඟ පිරී හිටියා. ඒ සමඟම මට කලන්තයක් ආවා. එවිටම එතනට පැමිණි පීපල්ස් බේකර්ස් ලොරි රථයකින් මාව බුලත්සිංහල රෝහලට රැගෙන ගියා. මාව රැගෙන ඒමට කලින් මාගේ ට්‍රිපර් රථයේ වැදුණු ලොරි රථයේ රියැදුරුව එළියට ගන්නවා මම දුටුවා…” යැයි ලොරි – ට්‍රිපර් රථ අනතුරකින් මියගිය ලොරි රථයේ රියැදුරු හා අනෙක් පුද්ගලයාගේ මරණ පරීක්ෂණයේදී ට්‍රිපර් රථ රියැදුරු වන නන්දදුරගේ වජිර කුමාර මුණසිංහ (34) යන අය සාක්ෂි දෙමින් පැවසුවේය.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථයේ රියැදුරු ලෙස කටයුතු කළ වල්පිටගේ රුවන් තරංග නමැති අයෙකි. සිව්හැවිරිදි එක්දරු පියෙකු වන ඔහු බුලත්සිංහල, දෙල්මෑල්ල, දේවාලවංගුව, 135/1 ලිපිනයේ පදිංචිකරුවෙකි. මියගිය අනෙක් පුද්ගලයා වන්නේ ලොරි රථයේ පැමිණි බුලත්සිංහල, ඈගල්ඔය පදිංචි 58 හැවිරිදි අන්තෝනි නන්දසේන නමැති තිදරු පියෙකි. ඔහුද රියැදුරු රැකියාවේ නියුතු අයෙකි. හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී බුලත්සිංහල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඒ.එල්. සී. සෙනෙවිරත්න මහතාගේ සාක්ෂි විමසීම මත තවදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද කීය.
“මම රියැදුරකු ලෙස රැකියාව කරන අතර බුලත්සිංහල, අමරගෙදර පදිංචිව සිටිනවා. මම දැනට සතියක පමණ ඉදලා රනිල් හෙට්ටිආරච්චි යන අයට අයත් ට්‍රිපර් රථයක සේවය කරනවා. මම එහි අමරගෙදර, ගල්ලැන්ද ඉදලා කළු ගල් ගෙන එන්නේ කඳන තිබෙන හදාගෙන යන වාසනා බේකරියේ ගොඩනැඟිල්ල ළඟටයි. මම දවසට තුන් වරක් කළු ගල් ප්‍රවාහණය කරනවා. පසුගිය දෙසැම්බර් 30 වැනි දින උදේ 10.30ට පමණ මම පළමු කළු ගල් ඕඩරය අරගෙන කඳනට ආවා. ඇවිත් ගල්ටික දවල් 12. 45ට විතර බෑවා. එය බාලා මම නැවත අමරගෙදරට ගිහිල්ලා දෙවන වාරයට ගල් පටවාගෙන හවස 3. 45 ට විතර කඳනට එන්න පිටත් වුණා. දෙනිකඩේ පසුකරගෙන දෙහිගහවල ප්‍රදේශයට එන විටදී සියරා හෝටලයට හැරෙන පාර කිට්ටුවට එන අතරදී මම දුටුවා මගේ පැත්තට විරුද්ධ පැත්තෙන් හොරණ ඉඳලා බුලත්සිංහල දෙසට ලොරි රථයක් ඉදිරියට එනවා. මාගේ ට්‍රිපර් රථයට මීටර් 50ක් විතර දුරදී ලොරි රථය මාගේ පැත්තට එනවා මම දුටුවා. මම ට්‍රිපර් රථයේ ගියර් එකත් මාරු කරලා ට්‍රිපර් රථය එතනම නතර කළා. ඒ සමඟම ඉදිරියෙන් පැමිණි ලොරි රථය මාගේ ට්‍රිපර් රථයේ මුහුණට මුහුණ හැපුණා. ඒ සමඟම ට්‍රිපර් රථයේ ඉදිරිපස විදුරුව බිඳී මගේ අතට වැදුණා. මම අනිත් අතින් වාහනය පස්සට ගන්න හැදුවා. ඒත් ගන්න බැරි වුණා. මම දකුණු පැත්තේ දොර ඇරගෙන බහින්න හැදුවා. නමුත් දොර හිරවෙලා තිබූ නිසා දොර ඇරගන්න බැරි වුණා. ඉන්පසු මම වම් පැත්තේ දොර ඇරගෙන බිමට බැස්සා. ඒ වන විට එතනට සෙනඟ පිරිලා හිටියා. ඒ සමඟම මට කලන්තයක් ආවා. ඒ සමඟම පැමිණි පීපල්ස් බේකර්ස් ලොරි රථයකින් මාව බුලත්සිංහල රෝහලට රැගෙන ගියා. මාව රැගෙන ඒමට කලින් මාගේ ට්‍රිපර් රථයේ වැදුණු ලොරි රථයේ රියැදුරුව එළියට ගන්නවා මම දුටුවා. මාව බුලත්සිංහල රෝහලට රැගෙන ගිය පීපල්ස් බේකර්ස් ඒකේ ලොරියේ රියැදුරු මට පැවසුවා මාගේ ට්‍රිපර් රථයේ වැදී අනතුරට ලක් වූ ලොරි රථයත්, පීපල්ස් බේකර්ස් ආයතනයේ ලොරි රථයක් බවට. මාව බුලත්සිංහල රෝහලට ඇතුළත් කළා. රෝහලේදී අතට ප්‍රතිකාර ලබා දීලා ගිලන් රථයකින් මාව හොරණ රෝහලට මාරු කළා. ඒ රෝහලේදී ප්‍රතිකාර ලබා දීලා 15 වාට්ටුවට දැම්මා. එහිදී රෝහල් පොලිසියෙන් මගේ විස්තර අසා අනතුර ගැන සාක්ෂි සටහන් කර ගත්තා. ඒ අවස්ථාවේ පොලිසියෙන් මට පැවසුවා මාගේ ට්‍රිපර් රථයේ වැදී අනතුරට ලක් වූ ලොරි රථයේ සිටි රියැදුරු සහ අනෙක් කෙනා මියගොස් ඇති බව. මෙම අනතුර පිළිබඳවත් සිදු වූ මරණ පිළිඳවත් මට කීමට ඇත්තේ මෙපමණයි.”
මෙහිදී සාක්ෂි දුන් පීපල්ස් බේකර්ස් ආයතනයේ විමර්ශන හා අය කිරීම් නිලධාරී වන වැදිසිංහගේ දොන් වංශපාල මෙත්තානන්ද ( 61 ) මෙසේ පැවසීය.
“දාපිංගොඩ පාර, කැකුලන්දොළ, අගලවත්ත ලිපිනයේ මම පදිංචිව සිටින අතර මාස 07ක පමණ කාලයක සිට මෙම ආයතනයේ සේවය කරනවා. බඩු ප්‍රවාහනයට ලොරි පිටත් වෙන්නෙ පාන්දර 3.00ට පසුවයි. උදේට ලොරි 07ක් යනවා. බොහෝ ලොරිවලට රියැදුරන් දෙදෙනකු දෙනවා. එදින පාන්දර 3.00ට පමණ අනතුරට ලක්වූ ඩිමෝ බට්ටා ලොරි රථය රියැදුරන්ම දෙදෙනකු සමඟ පිටත් වුණා. එය එලෙව්වෙ වල්පිටගේ දොන් රුවන් තරංග යන අයයි. එම ලොරිය පළමු වටයට බඩු බාලා උදේ 10. 45 ට පමණ ෆැක්ටරි එකට ආවා. නැවත 11. 45 ට පමණ බඩු පටවාගෙන රත්මලානට යැමට පිටත් වුණා. ලොරිය පැදවූයේ පෙර රියැදුරුමයි. හවස 4. 15 ට පමණ අපට පණිවිඩයක් ලැබුණා පෙර සඳහන් කළ ලොරිය දෙනිකඩය, දෙහිගහවල ආදාහනාගාරය අසලදී අනතුරට ලක් වී ඇති බවට. පසුව කර්මාන්තශාලාවේ නිලධාරීන් එතන බලන්නත් තව වාහනයකින් ලෙඩුන් රෝහලට ගෙන යෑමටත් පිටත් කළා. පසුව මට දැන ගන්න ලැබුණා ලොරිය හොරණ සිට බුලත්සිංහල දෙසට යන විටදී මේ අනතුර සිදු වි ඇති බවට. මේ අනතුර සම්බන්ධයෙන් කීමට ඇත්තේ එපමණයි.”
මෙහිදී මියගිය දෙදෙනාගේ බිරින්දෑවරුන් වන අනුස්කා කුමාරි දොඹගහවත්ත ( 34) හා සුබ්‍රමනියම් ශාන්තා ( 54 ) යන අයද සාක්ෂි දුන්හ.
හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී කේ. ආර්. එච් ලියනගේ මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවාය.
මෙම මරණ ට්‍රිපර් රථය හා ලොරි රථය මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුර නිසා දෙදෙනාගේම හිසට සිදු වූ බරපතළ තුවාල මත වූ හදිසි මරණ බවට හොරණ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු සුමේධ ගුණවර්ධන මහතා නිගමනය කළේය.