Home » පන්දු 642කට සීමා වූ ඉන්දීය-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගය ලෝක වාර්තාවක්

පන්දු 642කට සීමා වූ ඉන්දීය-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගය ලෝක වාර්තාවක්

by mahesh
January 5, 2024 1:00 am 0 comment

වසර 132ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු ගණනකින් අවසන් වූ ටෙස්ට් තරග වාර්තාව සමඟ සංචාරක ඉන්දීය පිල දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හිදී පැවති දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට සමත් විය. ඉන්දීය පිලට ජය හිමි කර දෙමින් ඊයේ පස්වරු තේ පානයටත් පෙර තරගය අවසන් වෙද්දී මුළු තරගය පුරාම යවනු ලැබූ පන්දු සංඛ්‍යාව 642කට සීමා විය. මීට පෙර අඩුම පන්දු ගණනකින් අවසන් වූ ටෙස්ට් තරගය ලෙස වාර්තා පොතට එක් වූයේ 1932දී ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර මෙල්බර්න් නුවර පැවති ටෙස්ට් තරගය විය. එහිදී තරගය අවසන් වූයේ පන්දු 656කිනි.

පෙරේදා ආරම්භ වූ මේ තරගයේ පළමු දිනයේදී දෙපිලේම කඩුලු 23ක් බිඳ වැටුණු අතර, දෙවැනි දිනය වූ ඊයේ දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 176කදී බිඳ වැටීමෙන් පසු ඉන්දීය පිලට හිමි වූයේ ලකුණු 79ක ඉලක්කයක් පමණි. කඩුලු 3ක් දැවී යෑමෙන් පසු අවශ්‍ය ඉලක්කය සපුරා ගැනීමට ඉන්දීය පිල සමත් විය. මේ ජය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ද ඉන්දීය පිලට හැකි විය.

ඊයේ තරගය ආරම්භ වන විට දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 62ක් රැස් කර සිටි අතර, දිවා විවේකය වන විට ලකුණු 176කට ඉනිම සීමා කිරීමට ජස්ප්‍රීට් බුම්රා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

මේ තරගයේදී දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 55කට සීමා කළ ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 153ක් රැස් කළ අතර, ඒ අනුව ඔවුන්ට දෙවැනි ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 79ක ඉලක්කයක් හිමි විය. එය පසුකර යෑමට ඔවුන්ට කඩුලු 3ක් අහිමි විය.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේදී හුදෙකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු ඒඩ්න් මාක්‍රම් ලකුණු 106ක් රැස් කළේ පන්දු 103කදී හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟිනි. වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 12 සීමාව පසු කිරීමට අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී බුම්රා ලකුණු 61කට කඩුලු 6ක් දවාගත් අතර, මුකේෂ් කුමාර් කඩුලු 2ක්, ප්‍රසිද් ක්‍රිෂ්ණා සහ මොහොමඩ් සිරාජ් කඩුල්ල බැගින් බිඳ දැමූහ. මේ තරගයේදී කඩුලු 7ක් බිඳ දැමූ මොහොමඩ් සිරාජ් තරගයේ වීරයා ලෙස නම් කළ අතර, ජස්ප්‍රීට් බුම්රා සහ ඩීන් එල්ගා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූහ. මේ තරගය දකුණු අප්‍රිකානු නායක එල්ගා ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ තරගය ද විය. මේ ජය සමඟ අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වූ අතර, දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයට වැටිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT