Tuesday, May 13, 2025
Home » පෙම්ව­තිය දුර­ක­ත­නය පැහැ­ර­ගත්තැයි පෙම්වතා පොලිසි ගිහින්

පෙම්ව­තිය දුර­ක­ත­නය පැහැ­ර­ගත්තැයි පෙම්වතා පොලිසි ගිහින්

by Gayan Abeykoon
January 6, 2024 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

තමන්ගේ 89 හැවිරිදි පෙම්වතිය රුපියල් 80000ක්, වටිනා ස්මාට් දුරකතනය පැහැර ගත්තා යැයි පවසමින් 22 හැවිරිදි තරුණයකු විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණු පැමිණිල්ල පෙරේදා( 04 වැනිදා ) සමථයකට පත් කළ බව කෑගල්ල පොලිසිය පැවසීය.

ජංගම දුරකතනය බලහත්කාරයෙන් පැහැර ගත්තා යැයි පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ කෑගල්ල පොලිස් වසමේ පදිංචිව සිටින 22 හැවිරිදි තරුණයෙකි.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති තරුණයා කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බවත් ඔහු මාස කිහිපයකට ඉහතදී කෑගල්ල නගරයේ කායවර්ධන මධ්‍යස්ථානයකට රාත්‍රි කාලයේ පැමිණ ඇත. එම මධ්‍යස්ථානයට ආගිය සැමියාගෙන් වෙන්වූ කාන්තාවක සමඟ තරුණයා සබඳතාවක් ගොඩ නඟාගෙන ඇත. කාන්තාව රාජ්‍ය ආයතනයක රැකියාවක් කරන 38 හැවිරිදි තිදරු මවකි. තරුණයා 38 හැවිරිදි තිදරු මව සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල හෝටල් වලට ගොස් ඇති බවත් හෝටල්වල සියලු බිල්පත් 38 හැවිරිදි තිදරු මව විසින් ගෙවා දමා ඇති බවත් පොලිසිය පැවසීය. දිනක් තරුණයා 38 හැවිරිදි පෙම්වතිය සමඟ හෝටලයක සිටිය දී ඔහුගේ ස්මාට් දුරකතනයට ඇමතුම් ගණනාවක් ගලාගෙන පැමිණ ඇති බවත් එම අවස්ථාවේ දී තරුණයා දුරකතනයට ප්‍රතිචාර දක්වා නැති බවත් පොලිසිය පැවසීය. එදින 38 හැවිරිදි තිදරු මවට සිය 22 හැවිරිදි තරුණ පෙම්වතාට තවත් පෙම්වතියන් ඇතැයි සැකයක් පහළ වී තිබේ.

එදින 38 හැවිරිදි තිදරු මව 22 හැවිරිදි තරුණයාගේ රුපියල් 80000 වටිනා ජංගම දුරකතනය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

එම ජංගම දුරකතනය මෙම කාන්තාව විසින් පැහැර ගනු ලැබූ බවට තරුණයා අනතුරුව කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ලට අනුව පැමිණිලිකාර තරුණයා හා තිදරු මව පෙරේදා පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට කැඳවීමක් කෙරිණ.

තරුණායා සිය පියා සමඟ පොලිසියට පැමිණ තිබුණි. තරුණයා ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ල කාන්තාව ඉදිරියේදී කියවා පැහැදිලි කර දී තිබේ. එහිදී කාන්තාව කියා ඇත්තේ තමන්ගේ ස්වාමි පුරුෂයා වසර කිහිපයකට ඉහතදී තමන් අතහැර දමා ගිය බවත් මේ මල්ලී පසුව මුණ ගැසී ඉදිරියේදී තමාව විවාහ කර ගන්නා බවට පොරොන්දු දීමෙන් පසුව ඔහු සමඟ ඇසුරක් පැවැත්වූ බවත්ය. මල්ලීට කන්න බොන්න ඇඳුම් පැලඳුම් අරන් දුන් බවත් ඉඳහිට හෝටල්වලට ගොස් නැවතී සිට බිල් පවා තමන් ගෙවා දැමූ බවත් ප්‍රකාශ කර ඇත.

එහිදී පොලිසිය කාන්තාවට කියා ඇත්තේ තමන්ගේ වයසට ගැළපෙන පිරිමි පුද්ගලයකු සොයා ගත යුතු බවත් තමන්ට ගැළපෙන තරුණියක් තරුණයා ද සොයා ගත යුතු බවත්ය. තරුණයාගේ පියාට පොලිසිය කියා ඇත්තේ පුතාට ඉක්මනින්ම තරුණියක් සොයා දෙන ලෙසය. තමන් දුරකතනය රැගෙන ගියාට එය ලොක් කර තිබුණු බවත් දුරකතනය පාවිච්චි නොකළ බවත් කාන්තාව පොලිසියට පවසා ඇත. පසුව කාන්තාව දුරකතනය පොලිසිය ඉදිරියේදී තරුණයාට දී පැමිණිල්ල සමථයකට පත් කර ගෙන තිබේ.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී. වීරසිංහ, පොලිස් සැරයන් කළුආරච්චි (7070) විමර්ශන කටයුතු සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT