Home » පැතුම්ට ඩෙංගු උණ හැදී රෝහ­ල්ගත කරයි

පැතුම්ට ඩෙංගු උණ හැදී රෝහ­ල්ගත කරයි

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින ගැටුම අදයි

by Gayan Abeykoon
January 6, 2024 1:30 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරගය පැවැත්වීමට දිනක් තිබියදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඩෙංගු උණ රෝගය වැලදී රෝහල්ගත කිරීම හේතුවෙන් එක්දින තරගාවලිය අහිමිවන තත්ත්වයක් උදාවී ඇත.

ඔහු වෙනුවට යොවුන් ක්‍රීඩක ශෙවෝන් ඩැනියෙල් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

දෙරට අතර පැවැත්වෙන 62 වැනි ජාත්‍යන්තර එක්දින තරගය වන මෙය දිවා – රාත්‍රි ලෙස පැවැත්වේ. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන මෙම එක්දින තරගයට වසර 2කට පසු දඟ පන්දු යවන අකිල ධනංජය කැඳවා ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ කැඳවා ඇත.

අවිශ්ක ප්‍රනාන්දු අද තරගයේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසෙන අතර, අංක 6 ස්ථානයේ නුවනිඳු ප්‍රනාන්දු හෝ සහන් ආරච්චිගේ කටයුතු කරන බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නායක කුසල් මෙන්ඩිස් සඳහන් කළේය. “දසුන් ශානක අංක 7 ස්ථානයේ පන්දුවට පහරදෙයි ද කියා අවසන් මොහොතේ තණතිල්ල පරික්ෂා කොට කියන්න පුළුවන්. ඔහු මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ එක්දින තරගාවලියේ හොඳින් ක්‍රීඩා කරනවා. ඔහු අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළොත් මට අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන්” ශ්‍රී ලංකා එක්දින නායකයා පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී වූ වැරදි අඩුපාඩු හදා ගැනීමට පසුගිය පුහුණු සැසිවලදී කටයුතු කළ බවද කුසල් මෙන්ඩිස් මාධ්‍ය හමුවේදී පැවසීය.

“අපේ පන්දු රැකීම හා පිතිකරණයේදී අඩුපාඩු සිදු වුණා. දැන් ඒවා සියල්ල හදා ගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. පන්දු රැකීම හොඳ නැත්නම් තරග දිනන්න බෑ. ඒ නිසා ඒ දුර්වලතා හදා ගන්න ප්‍රමුඛතාව දුන්නා. දැන් පිතිකරණයේ හා පන්දු රැකීමේදී දියුණුවක් තියෙනවා. අනික අපට හොඳ පුහුණුකරුවන් කිහිප දෙනෙකුම ලැබී තිබෙනවා. ඒ නිසා අපට පහසුවක් දැනෙනවා. කණ්ඩායම තේරීමේදී තේරීම් කමිටුව මා සමඟ ඉතා සමීපව අදහස් හුවමාරු කර ගන්නවා. ඒක හොඳ දෙයක්. දෙපැත්තටම ගැළපෙන දෙයක් එයින් සිදු වෙනවා” කුසල් මෙන්ඩිස් පැවසීය.

සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකාවට පැමිණියේ අයර්ලන්තය සමඟ පැවැති ආසන්නත ම තරගාවලියේ දී තරග 2-0ක පරාජයක් ලැබීමෙන් පසුවය. ශ්‍රී ලංකාව මේ තරගාවලියට එක් වෙන්නේ අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානයට පසුවය. දෙරටේම ක්‍රීඩකයෝ මේ වසරේ සහභාගි වන මංගල ජාත්‍යන්තර එක්දින තරගාවලිය මෙය බැවින් තරගාවලිය ජය ගැනීමේ අපේක්ෂාව තියුණුවී තිබේ.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අතර එක්දින තරග 61ක් පැවති අතර, එයින් තරග 47ක ජය ශ්‍රී ලංකා පිල සතු විය. තරග 12ක් සිම්බාබ්වේ ජයගත් අතර, තරග 2ක් විසඳුමකින් තොරව නිමාවට පත් වූයේය. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අවසන් වරට එක්දින තරගයකදී හමුවූයේ අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ක්ව්න්ස් පාක් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදීය. එහිදී සිම්බාබ්වේ පිල කඩුලු 9කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

සිම්බාබ්වේ අවසන් වරට 2022දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් පවත්වන පළමු අවස්ථාව මෙය වේ.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය හෙට සිට 11 වැනිදා දක්වා හා තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය මේ මස 14 වැනිදා සිට 18 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT