Home » හොර පාරෙන් චීනය යන්න ගිය මැණික් කටුනායක දී කොටුවෙයි

හොර පාරෙන් චීනය යන්න ගිය මැණික් කටුනායක දී කොටුවෙයි

by yasara
January 9, 2024 11:01 am 0 comment

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ තිස් හත් දහස් අටසිය අටක් වටිනා මැණික් ගල් 221 ක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික කාන්තාවක් ඊයේ (08) කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීන් ද සනාථ කළේය .

32 හැවිරිදි මෙම චීන ජාතික කාන්තාව එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 044 දරන ගුවන් යානයෙන් මැලේසියාව හරහා චීනය වෙත යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ මෙම මැණික් කැට තොගය සගවා ගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත මෙම චීන ජාතික කාන්තාව භාර දී තිබේ .

එහිදී ඇයට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි වීම නිසා චීන භාෂා පරිවර්තකයෙකු සහ මෙම චීන  කාන්තාවට මැණික් අලෙවි කළ දේශීය ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද ඊයේ  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත කැදවා තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාව අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT