Monday, May 5, 2025
Home » ශ්‍රී ලංකා පිල අවසන් මොහොතේ ගොඩ යයි

ශ්‍රී ලංකා පිල අවසන් මොහොතේ ගොඩ යයි

by sachintha
January 9, 2024 1:56 am 0 comment

-නව වසරේ පළමු ජයග්‍රහණයට පන්දු යවන්නෝ පිහිට වෙති

සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට සමත් වෙයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග 4ක් එක දිගට පරාජයවී හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ ජයග්‍රහණය නව වසරේ නව ක්‍රිකට් යුගයක් යළි ආරම්භ කිරීමට හොඳම සංධිස්ථානයක් වනු ඇත.

ලකුණු 209ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා පිලේ ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 172ක් ලෙස සටහන් වී ජයග්‍රහණය දෝලනය වී තිබූ මොහොතක පන්දු යවන්නන් ලෙස කණ්ඩායමේ සිටින දුෂ්මන්ත චමීර හා ජෙෆ්රි වැන්ඩර්සේ 9 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 39ක සබඳතාවක් ගොඩ නඟා ජයග්‍රහණය සනිටුහන් කළේය.

ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු 18කදී හතරේ 2ක් සමඟ නොදැවී ලකුණු 19ක් හා දුෂ්මන්ත චමීර පන්දු 25කදී හතරේ 2ක් සමඟ නොදැවී ලකුණු 18ක් ලබා ජයග්‍රහණය සහතික කළහ.

ඉදිරි පෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී ගොස් විශාල බරක් නවක ක්‍රීඩක ජනිත් ලියනගේ වෙතට පැටවෙද්දී ඔහු එක් අන්තයක් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැංවීම ප්‍රසංසනීය මෙහෙවරක් විය. ජනිත් ලියනගේ ශතකය පෙනි පෙනී තිබියදී ලකුණු 95කට දවා ගැනීමට මුසර්බානී සමත්වීමෙන් සිම්බාබ්වේ පිල යළි තරගයට අවතීර්ණ විය. කෙසේ වුවද ඇතිව තිබූ පීඩනය මැද ජනිත් ලියනගේ පන්දු 127කදී හයේ 2ක් හා හතරේ 6ක් එල්ල කිරීම අමතක නොවන ඉනිමක් විය. මේ නිසාම ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක ග්‍රෙග් අර්වින් මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ හෙයින් ඕවර් 43කදී ලකුණු 208ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් ඕවරයක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ලකුණු 211ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් දැවී ලකුණු 49ක් ලබා සිටියදී සිරිපොද වර්ෂාවක් ඇද හැලී තරගය පස්වරු 7.23ට තාවකාලිකව අත්හිටුවීමට සිදු විය. යළි තරගය පස්වරු 8. 15ට ආරම්භ වුවද ඕවර් ගණන අඩු නොකොට ඉදිරියට ගියේය.

වසරකට පමණ පසු ශ්‍රී ලංකා පිලට එක්වූ අවිශ්ක ප්‍රනාන්දු පිට පිට දෙවැනි වතාවටත් පළමු ඕවරයේදීම දැවී ගියේය. ඔහු ලකුණු 4කට දවා ගැනීමට වේග පන්දු යවන නගරාවා සමත්වූ අතර, ඊළඟ ඕවරයේ පළමු පන්දුවට මුහුණ දුන් කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල බිඳ දැමීමට බ්ලෙසින්ග් මුසර්බානී සමත් වුවද එය නිපන්දුවක් ලෙස සංඥා වීමෙන් කුසල්ට වාසනාව පෑදුණි. එහෙත් පසුව කුසල් මෙන්ඩිස් ලකුණු 17කට දැවීගිය අතර, උපනායක චරිත් අසලංක ලකුණු බින්දුවේදීම දැවී ගියේය.

ලකුණු බලාපොරොත්තු වන පිතිකරුවන් වූ සදීර සමරවික්‍රම ලකුණු 4කට හා දසුන් ශානක ලකුණු 7කට දැවීයෑම ශ්‍රී ලංකා ජයග්‍රහණය ප්‍රමාද වීමට හේතු විය.

සිම්බාබ්වේ පිල පන්දුවට පහර දෙද්දී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් 11 අතුරින් පන්දු යැවීම උදෙසා ක්‍රීඩකයන් 8ක් උපයෝගී කරගත් නායක කුසල් මෙන්ඩිස්ට එකම හිසරදය වූයේ සිම්බාබ්වේ පිලේ නායක ග්‍රෙග් අර්වින් පමණි. ඔහු පන්දු 102කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 82ක් ලබා ගැනීමට සමත් වූවේය. එහෙත් අර්වින් ලකුණු 29ක් ලබා සිටියදී සහන් ආරච්චිගේ එවූ පන්දුවකට කඩුලු රකින කුසල් මෙන්ඩිස් අතින් ‘ස්ටම්ප්‘ කිරීමක් මඟ හැරී ගියේය. එම දවා ගැනීම සිදු කළේ නම් තත්ත්වය මෙයට වඩා වෙනස්වීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි.

කෙසේ වුවද දිනයේ අලංකාර උඩ පන්දුව පොයින්ට් කලාපයේ සිට තනි අතින් රැකගත් සදීර සමරවික්‍රම පස්වැනි කඩුල්ලට අර්වින් දවා ගැනීමට පන්දු යැවූ දුෂ්මන්ත චමීරට සහාය වීමෙන් පසු සිම්බාබ්වේ කඩා වැටීම ආරම්භ විය. අර්වින් දැවී යද්දී ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 182ක් වු අතර, ඉතිරි කඩුලු 5ම ලකුණු 23ක් තුළ දැවී ගියේය.

නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී උඩ පන්දු 16ක් අත්හැරීමෙන් තවත් වාර්තාවක් පිහිටවූ ශ්‍රී ලංකා පිල පන්දු රැකීමේ අංශය මෙයට වඩා සාර්ථක කරගත යුතු බව ඊයේ තරගයේදී තවදුරටත් පැහැදිලි කළේය.

වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුෂංක සිම්බාබ්වේ පිල අමාරුවේ දැමීම පළමු ඕවරයෙන්ම ආරම්භ කළ අතර, දුෂ්මන්ත චමීර කඩුලු 2ක්, මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් හා වැන්ඩර්සේ කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූහ.

තෙවැනි හා අවසන් එක්දින තරගය අනිද්දා (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

සිම්බාබ්වේ

ජෝයිලෝඩ් ගම්බි ප. තීක්ෂණ 30

කමුන්කම්වේ ඇ.මෙන්ඩිස් ප. මධුසංඛ 0

ක්‍රෙග් අර්වින් ඇ.සධීර ප. චමීර 82

මිල්ටන් ෂුම්බා ඇ.සහන් ප. තීක්ෂණ 26

සිකන්දර් රාසා ඇ.ජනිත් ප. වැන්ඩසේ 01

රයන් බර්ල් ප. චමීර 31

ක්ලයිව් මඩන්ඩේ ක.මු.ක. ප. වැන්ඩසේ 14

ෆරාස් අක්රාම් ක.මු.ක. ප. තීක්ෂණ 01

රිචඩ් එන්ගරවා නොදැවී 05

බ්ලෙසිං මුසරබානි දුවද්දී දැවී ගියා 0

ටපිවා මුෆුඩ්සා ප. තීක්ෂණ 01

අතිරේක 17

එකතුව සියලුදෙනා දැවී (ඕවර 44.4) 208

කඩුලු බිඳ වැටීම – 1-1, 2-61, 3-114, 4-115, 5-182, 6-190, 7-202, 8-202, 9-202

පන්දු යැවීම – මධුසංඛ 7-1-24-1, චමීර 8-0-44-2, තීක්ෂණ 9.4-1-31-4, ලියනගේ 2-0-11-0, දසුන් 4-0-14-0, සහන් 2-0-10-0, වැන්ඩසේ 10-1-47-2, අසලංක 2-0-18-0

ශ්‍රී ලංකාව

අවිශ්ක ප්‍රනාන්දු ඇ.ගම්බි ප. එන්ගාරාවා 4

කුසල් මෙන්ඩිස් ඇ.බර්ල් ප. එන්ගාරාවා 17

සධීර සමරවික්‍රම ඇ.අර්වින් ප. එන්ගාරාවා 4

ජනිත් ලියනගේ ඇ.එන්ගාරාවා ප. මුසර්බානි 95

චරිත් අසලංක ඇ.ගම්බි ප. එන්ගාරාවා 0

සහන් ආරච්චිගේ ක.මු.ක. ප. සිකන්දර් 21

දසුන් ශානක ඇ.ගම්බි ප. සිකන්දර් 7

මහීෂ් තීක්ෂණ ඇ.ෆරාස් ප. එන්ගාරාවා 18

දුෂ්මන්ත චමීර නොදැවී 18

ජෙෆ්රි වැන්ඩසේ නොදැවී 19

අතිරේක 8

එකතුව කඩුලු 8ක් දැවී (ඕවර 49) 211

කඩුලු බිඳ වැටීම – 1-4, 2-16, 3-51, 4-53, 5-90, 6-112, 7-168, 8-172

පන්දු යැවීම – එන්ගාරාවා 10-3-32-5, මුසර්බානි 10-0-41-1, ෆරාස් 10-0-43-0, සිකන්දර් 10-1-32-2, මුෆුඩ්සා 7-0-38-0, බර්ල් 2-0-23-0

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT