Home » අනියම් පෙම්වතා 23 තෙක් රිමාන්ඩ්
කහතුඩුවේ ගුවන්සේවා නිලධාරිනිය ඝාතනය

අනියම් පෙම්වතා 23 තෙක් රිමාන්ඩ්

බිරිය පොලිසියට පැමිණ දරුවන් ඉල්ලයි

by mahesh
January 12, 2024 1:00 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ, බණ්ඩාරගම - බිමල් ජයසිංහ

කහතුඩුව දක්ෂිණ අධිවේගි මාර්ග පිවිසුම ඉදිරිපිටදී තියුණු ආයුධයකින් ගෙල කපා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරිනියක ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු මෙම 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඊයේ (11) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එල්ලාවලියගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නමැති 42 හැවිරිදි ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි. ඔහු 12/2 බෙත්මෙගොඩ පාර, වලාන, පානදුර ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු ඝාතනය සිදු කර විදේශගත වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිටියදී ගුවන්තොටුපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කහතුඩුව පොලිසියට භාරදී තිබේ.

මොහු විසින් ගෙල කපා ඝාතනය කර ඇත්තේ පිළියන්දල, මඩපාත, ජඹුරලිය, අංක15/බී ලිපිනයේ පදිංචි මාපිටියගේ දුලාංජලී අනුරුද්ධිකා නමැති 42 හැවිරිදි එක් දරු මවකගේය.

මියගිය කාන්තාව සැකකරු සමඟ කාලයක සිට අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයට පුද්ගලයකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් අමනාපයක් ඇති වී තිබෙන බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධය හා එදින ඔහු පැමිණි මෝටර් රථය ද පොලිසිය මඟින් සොයාගෙන තිබිණි.

කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් නඩු කටයුතු නිලධාරියා ලෙස පොලිස් කොස්තාපල් (32785) සම්පත් මහතා කටයුතු කළේය.

මේ අතර කහතුඩුව අධිවේගි පිවිසුම ඉදිරිපිටදී ගුවන්සේවා නිලධාරිනිගේ ඝාතකයාගේ බිරිය පොලිසිය වෙත පැමිණ දරුවන් සිව්දෙනාගේ නීත්‍යනුකූල භාරකාරත්වය ඇයට ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව කහතුඩුව පොලිසිය කියයි. ඇය එලෙස පැමිණ ඇත්තේ පිළියන්දල පොලිසියට සහ කැස්බෑව පොලිසිය වෙත යෑමෙන් අනතුරුව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය 2021 වසරේ සිට එල්ලාවල ලියනගේ ඩන්ස්කන් ප්‍රසාද් පෙරේරා නමැත්තා සමඟ වෙන්වී ජීවත් වන බවත් ගැහැනු දරුවන් සිව්දෙනකු සහ පිරිමි දරුවකු සිටින බවත් ඇය ප්‍රකාශ කර ඇත.

එම ගැහැනු දරුවන් සිව්දෙනා සැකකරුගේ නැඟණිය භාරයේ මේ වන විට පසුවේ. ඇය ඊයේ (11) පොලිසිය වෙත පැමිණ ඇත්තේ ද එම පුතු සමඟය.

තමන් මේ වන විට එකම පුතු සමඟ අප්‍රසිද්ධියේ ජීවත් වන බවත් ඇය සිටින නිවෙසක ලිපිනයක් හෝ පොලිසියට පවා දීමට කටයුතු නොකර තිබිණි. ඊට හේතුව එම පුද්ගලයා විවිධ පුද්ගලයන් ලවා ඇයට සහ පුතුට විවිධ අවස්ථාවල හිරිහැර කිරීම බව ඇය පවසා ඇත.

තම සැමියා කෙළිලොල් ජීවිතයක් ගත කරන බවත් ඝාතනයට ලක් වූ අනුරුද්ධිකා සමඟ පැවති අනියම් සම්බන්ධය හේතුවෙන් තමන්ට පහර දුන් වාර අනන්ත බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ ලබා දී ඇත.

මේ ආකාරයෙන් ඇය පැයකට අධික කාලයක් සිය ප්‍රකාශ ලබා දී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ස්ථානාධිපතිවරයා ඇය වෙත උපදෙස් දී ඇත්තේ ඊට අවශ්‍ය නීත්‍යනුකූල පියවර ගන්නා ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT