දහවල් ආහාර පෝලිමේ රැඳී සිටි වැලිකන්ද කන්දකාඩු කඳවුරේ රැඳවූවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටලුවක් දුරදිග යෑම නිසා අද(12) සවස 4.00ට පමණ හටගත් ගැටුමකින් 24 දෙනකු පමණ තුවාල ලබා වැලිකන්ද සහ පොලොන්නරු රොහල්වලට ඇතුළත් කර ඇති අතර රැඳවූවන් 90ක් පමණ කඳවුරෙන් පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මේ ගැටුම අතරවාරයේ පුනරුත්ථාපන කඳවුරෙන් පලාගොස් සිටි රැඳවූවන්ගෙන් 62 දෙනකු පමණ මේ වන විට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පලාගිය සෙසු රැඳවූවන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව හා පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බවත්, සෝමාවතිය ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වයන් එයට බාධාවක් වී ඇති බවත් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා කීය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් දෙපිරිස අතර ඇති වූ ගැටුම අද (12) සවස 6.00 වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කිරීමට හැකි වූ අතර, එහි ඇති වූ ගැටුම්කාරි තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත, වැලිකන්ද ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල මහතාගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරති.