Home » වත්මන් ජනපති රට ස්ථාවර කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා

වත්මන් ජනපති රට ස්ථාවර කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා

හිටපු පළාත් සභා මන්ත්‍රී ආචාර්ය කිත්සිරි මංචනායක

by mahesh
January 12, 2024 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අප සපුරා ඇති නිසා අනාගතය තුළ ඔවුන් සමඟ කේවල් කිරීමේ හැකියාව ඇතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂයේ දිවුලපිටිය ආසන සංවිධායක, ආචාර්ය කිත්සිරි මංචනායක මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (10) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී මංචනායක මහතා මෙසේද අදහස් පැවසීය.

“අපි වසර දෙකකට කලින් හිටපු තැනින් ගොඩයන්න නම් යම් කැප කිරීමක් සිදු කළ යුතු බව මේ රටේ ජනතාව දන්නවා. වර්තමාන ජනාධිපතිවරයා රට ස්ථාවර කිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් මේ වෙලාවේ ඉටුකරමින් ඉන්නවා. අයි.එම්.එෆ් මඟින් කොන්දේසි මාලාවක් ලබාදී තිබෙනවා. අපේ මුදල් නිසි පරිදි කළමනාකරණය කරන්න අවශ්‍යයි. අපි වසර ගණනාවක් බදු ලබා නොගෙන හිටියා. අපිට දැන් ඒ බදු ගැනීමට සිද්ධ වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් වන්නේ රාජ්‍ය ආදායම වැඩිකරගත යුතුයි කියන කාරණය. ඒවගේම විදේශීය ආයෝජකයන් අපි දිහා බලන්නෙ බංකොලොත්භාවයෙන් අපි නිදහස් වුණොත් තමයි.

වැට් බද්ද කියන්නේ 2002 සිට ක්‍රියාත්මක බද්දක් කියන එක අපි දන්නවා. නමුත් පසුගිය ආණ්ඩුව 8% දක්වා බද්ද අඩු කළා. සමහර භාණ්ඩවල මිල 15% ඉඳන් 18% දක්වා 3%කින් වැඩි වෙලා තිබෙනවා. විදුලි බිල, ආහාරපාන වැනි දේවල්වල වැට් බද්ද ඉවත් කර සහන ලබාදීලා තිබෙනවා.

අපි උපයන විට බද්ද හඳුන්වා දීලා තිබෙනවා. පඩි ලැබෙන ප්‍රමාණය අනුව තමයි එය අය කිරීම සිද්ධ වන්නේ. අනිත් අතින් ලක්ෂ 12ට වැඩි වාර්ෂික ආදායමක් ලබන අයගේ වැඩිවන වැටුපට විතරයි බද්ද අය කිරීම සිදුවන්නේ. අපේ කලාපයේ තිබෙන ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින වැනි රටවලත් මේ බදු අය කරනවා. බදු අඩු කිරීම සහ බදු ඉවත් කිරීමේ ප්‍රතිවිපාක අද අපි විඳිමින් ඉන්නවා. ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණය ළඟ තිබෙද්දී දේශපාලනය ගැන නොහිතා රට ගැන හිතා තීරණ සහ ප්‍රතිපත්ති ගැනීම සිදු කරනවා. ඊළඟට බලයට එන කෙනාට මේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යා හැකි පරිදි ඔහු තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවා තිබෙනවා. බලයට ආ විට ටැක්ස් එක මේ මට්ටමට අඩු කරනවා කියලා කිසිම කෙ‍ෙනකු සෘජුව කියන්නේ නෑ. එහෙම කළොත් වෙන්නේ තවත් අවුරුදු දෙකකින් මේ රට නැවත කඩාගෙන වැටෙනවා. ඒ නිසා මේ ජනාධිපතිවරයාගේ පාලනය ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කාර්යයක් වෙනවා. ජනතාවට මේක අමාරුයි. දරාගන්නට බැහැ. නමුත් අපට මාස හයක්, අවුරුද්දක් මේ ක්‍රියාව දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. මාර්තු, ජූනි මාසේ වෙනකොට අපිට සහන ලැබෙන තත්ත්වයකට පත්වීමටත් හැකියාව ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අපි සපුරලා තිබෙන නිසා අපිට අනාගතය තුළ ඔවුන් සමඟ කේවල් කිරීමේ හැකියාවක් වර්ධනය කරගැනීමට හැකියාව තිබෙනවා. වැට් ඉහළ දැමීමත් එක්ක ආර්ථික වර්ධන වේගය යම් ප්‍රමාණයකින් අඩු වුණාට, මාර්තු මාසය වෙනකොට විදුලි බිල අඩුවීමත් එක්ක එය යම්කිසි ආකාරයකට සමනය කරගැනීමේ හැකියාවක් අපිට තිබෙනවා.

විශේෂයෙන්ම ඊළඟ සතියේ ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන විශේෂ ආර්ථික සමුළුවකට සහභාගී වෙනවා. ඊට අමතරව යුරෝපා ව්‍යාපාරිකයන් ගණනාවක් සමඟ සාකච්ඡා කරන්නට නියමිතයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT