Thursday, May 8, 2025
Home » තාත්තාට කරන්ට් වැදිලා කියා අම්මා කෑගහගෙන ආවා
වල් ඌරන්ට ඇද තිබුණු විදුලි රැහැනක පැටළී තිදරු පියකු මියයෑම:

තාත්තාට කරන්ට් වැදිලා කියා අම්මා කෑගහගෙන ආවා

පශ්චාත් මරණ පරීක්ෂණයේදී දියණිය හැඬූ කඳුළින් කියයි

by mahesh
January 12, 2024 1:00 am 0 comment

කෑගල්ල විශේෂ- චමින්ද ජයලත්
මියගිය තිදරු පියා තරුණ වියේදී

අම්මයි තාත්තයි ඊයේ (11) පාන්දර ඇහැරලා හිටියා.මටත් යාන්තමට ඇහැරිලා ඇ⁣දේ හිටියා. එක පාරට ගෙට පහළ කුඹුර පැත්තෙන් අම්මෝ කියා කෑ ගහනවා ඇහුණා. පස්සේ මම අම්මාට කිව්වා ගිහින් බලන්න කියලා. අම්මා ගිහින් බලලා කෑ ගහගෙන තාත්තාට කරන්ට් වැදිලා කියා කෑ ගැහුවා යැයි ඌරන්ට විදුලි රැහැන් ඇද තිබුණු විදුලි රැහැනක පැටළී මිය ගිය තිදරු පියාගේ දෙවැනි දුව වන 29 හැවිරිදි අචිනි දිලංගනී රාමනායක නැමැති අවිවාහක තරුණිය හැඩූ කඳුලින් පැවසුවාය.

මෙලෙස විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල අට්ටාපිටිය ලිපිනයේ පදිංචිව සිටි 63 හැවිරිදි සුනිල් රාමනායක නැමැති තිදරු පියෙකි. මිය ගොස් ඇති තිදරු පියාගේ නිවසට පහළින් කුඹුරකට කලක සිට යන එන වල්ඌරන්ට යම් පුද්ගලයෙක් විදුලි රැහැන් ඇද ඇති අතර විදුලි රැහැන් අදින්නේ කවුදැයි සොයා බැලීමට තිදරු පියා ඊයේ(11)පාන්දර කුඹුරට ගිය අවස්ථාවේ දී විදුලි රැහැන් ඇද තිබුණු රැහැනක පැටළී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබුණි. පසුව අනතුර සම්බන්ධයෙන් තිදරු පියාගේ බිරිය මාවනැල්ල පොලිසියට පැමිණිලි කර තිබුණි. පැමිණිල්ලට අනුව මාවනැල්ල පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ඩබ්ලිව් එස්. රූපසිංහ මහතා විසින් සිද්ධිය වු ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරිණ.

පසුව දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(11) සවස කෑගල්ල මහ රෝහලේ දී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිය ගිය තිදරු පියාගේ දෙවැනි දියණිය මෙසේද කීවාය.

මට වැඩිමහල් සහෝදරියක් හා බාල ⁣සහොදරයෙක් සිටිනවා.මල්ලී යුද හමුදාවේ පල්ලේකැලේ කඳවුරේ සේවය කරනවා. මම රැකියාවක් කරන්නේ නෑ. තාත්තයි අම්මයි සමඟ ගෙදර ඉන්නවා. තාත්තා කුලී වැඩ කරනවා. අම්මා බීඩි ඔතනවා.

අපට කුඹුරු නෑ. නමුත් ගෙට පහළින් කුඹුරු තිබෙනවා. ඒ කුඹුරට යන එන වල්ඌරන්ට කවුරු හරි කෙනෙක් කාලයක ඉදලා විදුලි වයර් අදිනවා. එක දවසක් හොරෙන් විදුලිය ගන්න කණුව ළඟ තිබිලා සෙරෙප්පු දෙකකුයි විදුලි කණුවට නගින්න හදා ගත්ත වළල්ලකුයි තිබිලා හම්බ වුණා.

ඊයේ(11) පාන්දර තාත්තයි අම්මයි නැගිටලා ඉන්න බව මට යාන්තමට වගේ දැනුණා. පස්සේ තාත්තා අම්මා හදලා දීලා තියෙන තේ කෝප්පයක් බීලා කවුද විදුලි වයර් අදින්නේ කියා ගෙට පහළ තියෙන කුඹුරට එළියක්වත් නැතිව ගිහින් තියෙනවා.

පස්සේ මට යාන්තමට ඇහුණා අම්මෝ කියා කෑ ගහනවා. පස්සේ මම නැගිටලා අම්මාට කිව්වා කවුද කෑ ගැහුවා ඇහුණා කියලා. පස්සේ අම්මා පහළ කුඹුරට ගිහින් බැලුවා. තාත්තාට කරන්ට් එක වැදිලා කියලා කෑ ගැහුවා. අම්මා මාමාට කතා කරන්න ගියා. ඒ අය සමඟ අම්මා යළි ඇවිත් බලන කොට ඇදලා තිබුණ කම්බි ඉවත් කර තියෙනවා. පස්සේ පොලිසියට කිව්වා. පොලිසිය සමඟ මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ආවා. අම්මයි මමයි පෙනී සිටියා.

තාත්තාගේ දේහය කෑගල්ල මහ රෝහලට ගෙන ආවා. ඒ වේලාවේ දී පොලිසියට අම්මයි මමයි ප්‍රකාශ ලබා දුන්නායැයි පැවසුවාය. එහිදී මිය ගිය තිදරු පියාගේ බිරිය වන 60 හැවිරිදි පද්මලතා මැණිකේ නැමැත්තිය ද ප්‍රකාශ ලබා දුන්නාය.

මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(11) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වීය. තිදරු පියා දකුණු අතින් විදුලි රැහැන ඇල්ලීමෙන් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍යවරයා පොලිසියට පැවසීය.

මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක කරුණාරත්න ⁣පොලිස් කොස්තාපල් පුෂ්ප කුමාර (28562) කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයලාල් මලන්දෙණිය පොලිස් සැරයන් අලහකෝන් (7393) නිලධාරින් කණ්ඩායම විමර්ශන කටයුතු සිදු කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT