Thursday, May 8, 2025
Home » පලස්තීන ද්විත්ව රාජ්‍ය සංකල්පය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවෙනවා

පලස්තීන ද්විත්ව රාජ්‍ය සංකල්පය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවෙනවා

ජනපති මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන්ට කියයි

by mahesh
January 12, 2024 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (11) පැවති සාකච්ඡාවේදීය.

ස්ථීර සහ ක්‍රියාකාරී පලස්තීන රජයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින අතරම බටහිර ඉවුරේ (West Bank) සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් තීරණාත්මක පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

එක් රාජ්‍යයක් පිහිටුවීම මඟින් ද්විත්ව රාජ්‍ය විසඳුමක් ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර මෙන්ම ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙළීම සාධාරණීකරණය නොකළ යුතු බව තරයේ ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා සාමකාමී යෝජනාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව පැවසීය.

මීට අමතරව, ගාසා තීරය වෙත ශ්‍රී ලංකාව ද මානුෂීය ආධාර සැපයීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාසා තීරය වෙත මානුෂීය ආධාර සැපයීම් අඛණ්ඩව සිදු කරන ලෙස ද ඉල්ලා සිටියේය.

පලස්තීන ජනතාව මුහුණදී සිටින දුක්ඛිත තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරමින් සටන් විරාමයක් ඇති කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

පලස්තීනය සහ ගාසා තීරය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන ස්ථාවර සහයෝගය වෙනුවෙන් මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් සහභාගි වූ තානාපතිවරු එහිදී සිය ස්තූතිය පළ කළහ.

ගාසා තීරයේ සිදුවන සටන් නැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සඳහා ශ්‍රී ලංකාව දක්වන සහයෝගය පිළිබඳ සිහිපත් කළ තානාපතිවරු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ නොසැලෙන ස්ථාවරය ද අගය කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාව රතු මුහුදේ ආරක්ෂක මෙහෙයුම්වලට සහභාගි වීම පිළිබඳ සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සහ නාවික ගමනාගමනය සඳහා පැවතිය යුතු නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වී ඇති බව ද සඳහන් කළේය.

මෙම සාකච්ඡාවන්හිදී බටහිර රටවල් සමඟ පවතින සබඳතාවලට අමතරව ආසියාව, බටහිර ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග යන කලාප සමඟ ද පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධාරණය කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව අනුගමනය කරන පුළුල් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව තානාපතිවරුන් වෙත කරුණු පැහැදිලි කළේය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා ප්‍රමුඛ, ඊජිප්තුව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිබියාව, ඉරානය, කුවේට්, සවුදි අරාබිය, ඕමානය සහ ඉරාකය යන රටවල තානාපතිවරු එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති විදේශ සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT