Monday, May 20, 2024
Home » ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නිරත වන්නේ අනාගත දැක්මකින්

ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නිරත වන්නේ අනාගත දැක්මකින්

ස්විට්සර්ලන්තයේදී ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ජනපති කියයි

by sachintha
January 18, 2024 1:10 am 0 comment

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක

ආයෝජන සීමා ඉවත් කිරීමට කැප වෙනවා

අනාගත දැක්මකින් යුතුව ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය. 2023 වර්ෂයේ දෙසැම්බරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අදාළ වැඩසටහනේ පළමු සමාලෝචනය අනුමත කිරීම මඟින් 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයේ සිට යථා තත්ත්වයට පත්වීම සහ වර්ධනය දක්වා ප්‍රවේශ වීමේ වේදිකාව සැකසී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලය එක්ව සංවිධාන කරන ලද ව්‍යාපාරික හමුවකට පසුගිය 15 වැනිදා ස්විට්සර්ලන්තයේදී එක් වෙමිනි.

 

ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට සමගාමීව මෙය සංවිධාන කර තිබූ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය සහ අනාගත වර්ධන අපේක්ෂා පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

විවිධ දුෂ්කරතා මැද වුව ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ සැලකිය යුතු කාර්ය සාධනයක් අත් කරගෙන ඇති බවට පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හමු වූ අවස්ථාවේ දී කළ ප්‍රකාශය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගීතාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරන බවත් ණය හිමියන් සමඟ කටයුතු කිරීමේදී එවැනි සහයෝගීතාවක් අවශ්‍ය වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විදේශීය ඍජු ආයෝජන ඇතුළු ආයෝජන, අපනයන සහ සේවා හරහා රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපාර, කුඩා ව්‍යවසායන් මෙන්ම සමස්ත ජනතාව කෙරෙහි අහිතකර ප්‍රතිවිපාක ඇති වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා ව්‍යාපාරවලට ඇති බාධක මෙන්ම විදුලිය සහ ඉන්ධන සැපයුම සඳහා ඇති බාධක ඉවත් කිරීම සඳහා 2022 සහ 2023 වර්ෂවලදී කළ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද සඳහන් කළේය.

එමෙන්ම ආනයන සීමා ලිහිල් කිරීම, විදේශ ප්‍රේෂණවල ද්‍රවශීලතාව නැවත යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම 1977 වසරෙන් පසුව ප්‍රථම වරට ප්‍රාථමික ගෙවුම් ශේෂයේ අතිරික්තයත් වාර්තා කිරීමට හැකි වූ බව ද සඳහන් කළේය.

2023 වර්ෂයේ තුන්වන කාර්තුවේ සිට මූල්‍ය ස්ථාවරත්වය ඇතිවීම, උද්ධමනය සැලකිය යුතු ලෙස පහළ යෑම සහ ඍණ ආර්ථික වර්ධනය ආපසු හැරවීම වැනි ධනාත්මක දර්ශක පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන් අතර, 2023 වර්ෂයේදී ප්‍රාථමික අය වැයේ අතිරික්තයක් අත්කර ගැනීම කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමක් බව ද ප්‍රකාශ කළේය.

සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව සහ චීනය සමඟ අවසන් වූ සහ ඉදිරියේදී එළැඹීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල් සමඟ පවතින වෙළෙඳ අවස්ථා පුළුල් කර ගැනීමේ සාකච්ඡා පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළත් වීම සඳහා ශ්‍රී ලංකාව කර ඇති මුලපිරීම මෙන්ම යුරෝපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා GSP+ මඟින් සැලසෙන ප්‍රතිලාභ සම්බන්ධව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකාර්මික නවීකරණය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතිකර ගැනීමෙන් ආයෝජනය කිරීමේ අවස්ථා පවතින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම, වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තරගකාරිත්වය සහතික කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත නීති සහ කොමිෂන් සභා පිළිබඳව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ආයෝජන සඳහා සීමා ඉවත් කිරීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා තමා අඛණ්ඩව කැප වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය ආයෝජකයන්ට සහතික විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා –

ආර්ථික සහ රාජ්‍ය යන දෙඅංශයම ඇතුළත් වූ පුළුල් ප්‍රවේශයක් තුළ පවතින වැදගත්කම අවධාරණය කළේය. ආර්ථික ප්‍රතිසංස්කරණවලට සමගාමීව රජය පුළුල් වෙනස්කම් රාශියක් ආරම්භ කළ බව ද එහිදී සාගල රත්නායක මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආරම්භ කරන ලද විනිශ්චය ක්‍රියාදාමයක ශ්‍රී ලංකා රජය නිරත වූ බවත් එම විනිශ්චය ක්‍රියාවලිය අවසන් කරන තුරු බලා නොසිටිමින් ලංකා රජය ඊට පෙර විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් පැවසීය.

පාර්ලිමේන්තු අය වැය කාර්යාලය පිහිටුවීම වැනි වැදගත් ක්‍රියාමාර්ග පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ක්‍රියාත්මක වූ බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ මූලික පියවරයන්ගෙන් පසුව පාලන විනිශ්චය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර, එහිදී දූෂණ විරෝධී නීතිය වැනි තීරණාත්මක නීති හඳුන්වා දීමේ වැදගත්කම සාගල රත්නායක මහතා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත දූෂණ විරෝධී කොමිසම සඳහා පත් කළ යුතු කොමසාරිස්වරුන් නිර්දේශ කරන ක්‍රියාවලිය පිළිබඳව ද ඒ මහතා පැහැදිලි කළේය. මේ පිළිබඳ ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිදු කරන බව ද සාගල රත්නායක මහතා අවධාරණය කළේය.

පාලන තන්ත්‍රය සඳහා සැලකිය යුතු නීති ප්‍රමාණයක් හඳුන්වා දිය යුතු බවත්, දැනටමත් ආසන්න වශයෙන් ඉන් 20ක් පමණ සම්පූර්ණ කර ඇති බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.

අනාගතය දෙස බලමින්, කම්කරු නීති ද ඇතුළත් වන පරිදි නව නීති 40ක් හෝ 50ක් සම්පාදනය කිරීමත්, දැනට පවතින නීති 40 සිට 50ක ප්‍රමාණයක් නවීන සහ ඉදිරි දැක්ම සහිත රාමුවකට ඒකාබද්ධ කිරීමත් සිදු කෙරෙන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ඩිල්ෂාන් වීරසේකර, ජනශක්ති රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, එයිට්කන්ස්පෙන්ස් සමාගමේ නියෝජ්‍ය සම සභාපති/ කළමනාකරණ අධ්‍යක්ෂ ස්ටෂානි ජයවර්ධන, ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂ්ණන් බාලේන්ද්‍ර, ගෝල්ෆේස් සමූහයේ සභාපති සංජීව් ගාඩිනර්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, එයිට්කන්ස්පෙන්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක සහ ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, කොමර්ෂල් බැංකුව පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග මහත්ම මහත්මිහු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

මීට අමතරව, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති දිනේෂ් වීරක්කොඩි, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේවන් වික්‍රමසූරිය, ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (ආයෝජන ප්‍රවර්ධන) ප්‍රසන්ජිත් විජයතිලක මහත්ම මහත්මීහු ද මේ වටමේස සාකච්ඡාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT