Tuesday, May 13, 2025
Home » යුක්තියේ මෙහෙයුමක් මේ සඳහා ද අවශ්‍ය වේ

යුක්තියේ මෙහෙයුමක් මේ සඳහා ද අවශ්‍ය වේ

by sachintha
January 18, 2024 1:00 am 0 comment

ගන්ධාර ප්‍රදේශය කේන්ද්‍ර කර, කණිෂ්ක රාජ සමයේ, මහායාන බුද්ධාගම ආරම්භ වූ බව විද්වත් මතයය. සුගත්හු දිවමන් සමයේද සමහරක් භික්ෂු වර්ගයා වෙනම කාණ්ඩ ගැසී හැසිරෙන්නට වූහ. ඒ පරිදිම මහා පරිනිර්වාණයෙන් පසුවද, මේ භේද ඇතිවිය. මහායානය ඇතිවන්නේ ඒ පසුබිම තුළය.

යම් සංකල්පයක් තුළ තමන් ජීවත්වන්නේ යැයි ප්‍රතිපදාගාමියාට මෙන්ම උමතු එකාට ද කිව හැකිය. එහෙම අවුට්කාරයෝ සම්බන්ධයෙන් අප සියලු දෙනාට දැනුමක් සහ අත්දැකීම් තිබේ. මීට වසර දහයකට පෙර එහෙම අවුට් එකක් තිබ්බා කියන්නේ ‘ගමම ඒ වග දැනගන්නවා’ කියන එකය. දැන් සිදුව ඇත්තේ එහෙම අවුට්කාරයෝ ‘සයිබර් අවකාශයට’ බැසීමය. වෙනදා ගමේ ගොඩේ තැනක දොඩන්නේය. මොකක් හෝ ලිපියක් ලියා වටේට තැපැල් කරන්නේය. එහෙම කරන එකා, අන් තැන්වලදී සාමාන්‍ය ආකාරයට සිටින හෙයින් සහ වෙන කරදරයක් නැත්තේ හෙයින් ගමේ උන් ‘ඒ පිස්සුව’ වැඩිය කරට ගන්නේ නැත. දැන් එහෙම නැත. මේ වගේ උන් ෆේස් බුක් ආදියේ තමන්ගේ මළ විකාර දොඩවන කල ‘ඇටෙන් පොත්තෙන්’ එළියට ඇවිත් මෙලෝ මළ දානයක් දන්නේ නැති පිරිස ඒවාට ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නේය. එහෙම ප්‍රතිචාර ගලා එන සඳ හෙවත් හිට් වන්නේ නම්, වැඩේ නැඟලා යන්නේය. උමතුව සඳහා සමාජ වටිනාකමක් නිර්මාණය වන විට, අංගොඩ සිටිය යුතු ඈයෝ, සමාජයේ කතිකා නිර්මාණය කරන්නේය. යූටියුබ් නාළිකාව හිට් කරගනු රිසියෙන් උදේට ඇ‍ඳෙන් බසින සෙට් එකක් මේ රටේ සිටිති. උන් වනාහි සිය දියණියගේ නිරුවත වුවද අන්තර්ජාලයේ උඩුගත කර, ප්‍රතිචාර වැඩි කර ගන්නා පිරිසකි. එහෙම එකාලා, මේ ජාතියේ උන්ගේ ලොරි ටෝක් අප්ලෝඩ් කළ විට සමාජය පුරා එය වයිරසයක් සේ පැතිර යන්නේය.

අවලෝකිතේශ්වර නම් වෙස් ගෙන, එකෙක් පන්සල් මිදුලට ගොඩවැදී තමන් අහවලා යැයි කියූ විට ඒ ජාතියේම උන්මත්තක පිරිසක්, ඒකාට වැඳ වැටෙන්නට විය. වැඩේ නැඟලා ගියේය. චීවරධාරියෙක්ද මේ උමතු බුවාට වඳින්නට පටන් ගත්තේය.

රාම, ක්‍රිෂ්ණා වැනි දේව සංකල්ප දරන ලද වෛදික සමාජයට බුදුහු ද ඒ ගණයේ දේවත්වයක් සඳහා යොමු කිරීමට අවශ්‍ය විය. බෝධිසත්ව සංකල්පය ආරම්භ වීමෙහි ලා ඓතිහාසික සාධකය වූයේ වයඹ දිග ඉන්දියාවේ සිට පැමිණි ආක්‍රමණිකයෝය. බෝධිසත්ව සංකල්පය ඇති වන්නේ බුද්ධ සංකල්පය දිවමන් කිරීම සහ දේවත්වය සඳහා පත් කිරීමට දරන ලද වෑයමය.

මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසගේ සඳහනට අනුව ථෙරවාදී මානුෂි බෝසත්වරුන් සහ මහායාන ධ්‍යානි බෝසත්වරුන් ලෙස බෝධිසත්ව සංකල්පය දෙකොටසකි. එම බෝසත්වරුන් අතරින් ද ලක්දිව වඩාත් ජනප්‍රිය වූයේ මෛත්‍රී බෝසත් සංකල්පය ය. ලක්දිව මහායාන අදහස් වර්ධනය සමඟ අවලෝකිතේශ්වර බෝ සිරිත මෙහි පණ ගසා නැඟී ආවේය.

අවලෝකිතේශ්වර බෝසත් පිළිම ගණනාවක්‌ම ලක්දිව ඇත්තේ ඒ අනුවය. ලොවක් වශීකෘත කළ, රාජාසන ලීලාවෙන් වැඩ සිටින අවලෝකිතේශ්වර ප්‍රතිමාවක් ලක්දිවෙන් නිර්මිත වූවකි. ක්‍රිස්තු වර්ෂ 8-10 කාලයට අයත් සේ සැලකෙන අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ඇල්ලවැව වෙහෙරගල විහාර භූමියෙන්, හමු වී ඇති මෙය කියාපාන්නේ ලක්දිව ජනයා එදා අවලෝකිතේශ්වර බෝසතුන් වෙත දක්වන ලද භක්ති ප්‍රණාමයය.

එවන් උරුමයක් කලාත්මක ආකාරයෙන් ඉදිරිපත් කළ අප දැන් වන්දනාවට පාත්‍ර කරනුයේ, කුලියට ලිමොසින් රැගෙන කැලණි විහාරය වෙත ගිය උන්මත්තක තෙමේය.

හේ ඊජ්ප්තුවේ සිට මෙහි පැමිණ, පෙති නොගෙන, එළියට බැස්ස සඳ අපේ ඩිප්‍රෙෂන්කාරයෝ දුටුවේ, දෙවියන් පහළට බැස ඇතැයි සේය. අර යෝධයා පස්සේ පන්න පන්නා වඳින්නට පටන් ගත් වන, බුකියේ සහ යූටියුබ් ආදියේ ඒකා මාතෘකාවක් විය. මේ පුද්ගලයා යූටියුබ් නාළිකා පහක් සහ සිය ෆේස් බුක් ගිණුම් ඔස්සේ විකාර දේශනා පවත්වා ඇත්තේ යැයි පෙරේදා අධිකරණයට තොරතුරු ඉදිරිපත් විය. යූටියුබ් නාළිකා ඔස්සේ 180 දේශනා සහ 180 කෙටි දේශනා නමින් මේ ටෝක් දීම සිදු කළ හෙතෙම, ඊජිප්තුවෙන් පිටුවහල් කරන්නේ වීසා නොමැති නිසාය. කටුනායකට බැස සැණින් ඔහු අමුත්තන්ගේ පර්යන්තයේ සිට එළියට එන්නේ ගාණක් ගෙවාය. සිය කුලී භටයන් ලවා මල්දම් පලඳවාගෙන, එළියට විත්, එතැන් සිට දිගටම රංගනයේ යෙදී දැන් ඔහු රිමාන්ඩ්ගතව ඇත්තේය. බඩු අවුල් බව තේරුම් ගත් අධිකරණය, නියම තැන වෙත ඔහු යොමු කරන්නේ, අසනීපය විද්‍යාත්මක ලෙස තහවුරු කර ගන්නටය. සර්ව බලය ඇතැයි කියනා මේ ජාතියේ සියලු දෙනා උසාවියේදී සරණ පතන්නේ නීතිඥයන්ගෙනි. ජෙරොම්කාරයා ද මිරකල් ඩ්‍රෝම් එකේ දෙන ‘නැව් ටෝක්’ උසාවියේදී නැත. එතැනදී කුප්පමේනියා ගහ දුටු පූසා සේ අහිංසකය.

උදය ගම්මන්පිල මේ ගැන කළ හෙළිදරව්ව අගනා බව මේ තීරුවේ අදහසය. “බුදු දහමට අපහාස කිරීම විවිධ පිරිස් අතින් අද සිද්ධ වෙනවා. බුදු දහමට අපහාස වන අයුරින් හැසිරෙන භික්ෂූන් වහන්සේලාට රුපියල් කෝටි ගණනින් විදේශ රටවලින් මුදල් ලැබෙනවා. සමහරු බෞද්ධයන් ලෙස පෙනී සිටිමින් බුදු දහමට අපහාස කරනවා. ඒ අතරේ අන්‍යාගමික පූජකවරු පවා නොබියව බුදු දහමට අපහාස කරනවා. ඒ වගේම බුදු දහමට අපහාස කරන නිරාගාමිකයන්ටත් විදේශවලින් මුදල් ලැබෙනවා. ඒ නිසා මේ බුදු දහමට අපහාස කිරීමේ ක්‍රියාවලිය ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියක් කියන එක ඉතාම පැහැදිලියි. ජෝන් ඩොයිලි කිව්වා වගේ මේ රටේ කොඳු නාරටිය බිඳින්න නම් ගමයි පන්සලයි අතර තිබෙන සම්බන්ධය බිඳින්න ඕනෑ. ඒක තමයි දැන් ඔය කරමින් තිබෙන්නේ. අද ඕනෑම අයකුට සිවුරක් ඇඳගෙන සමාජයේ පිළිකුලට ලක් වන උපහාසයට ලක්වන, හාස්‍යයට ලක්වන ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ අයව අත්අඩංගුවට ගන්න බෑ.” යැයි උදය කළ ප්‍රකාශය සුළුවට ගත යුත්තේ නැත. මේ වෙර දරන්නේ කබ්බෝ සහ පිස්සෝ ෆෝම් කිරීම සඳහා පමණක් නොවේ. එහි අවසන් නවාතැන මේ රටේ සිංහලත්වය සහ බුද්ධාගම කම්මුතු කිරීමය. අපේ එවුන්ද ‘රැල්ලක් එන්නට පෙරමැ මුහුදට පනින’ ජාතියේ බැවින් මේ වගේ ඒවා පත්තු වෙන්නට පෙරම පත්තු කර ගන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT