Saturday, May 10, 2025
Home » අර්බුදයට දොස් නොකියා එය විසඳමු

අර්බුදයට දොස් නොකියා එය විසඳමු

- මහාචාර්ය අජිත් දිසානායක කැලණිය විශ්වවිද්‍යාලය

by sachintha
January 18, 2024 1:05 am 0 comment

ණය නිසි විදිහට කළමනාකරණය කිරීමයි කළ යුතු

ආර්ථිකය විවෘත කිරීම සමඟ අනවශ්‍ය දේත් ආනයනය කළා

දේශපාලන පක්ෂවලට සමව බලය ලබා දීමෙන් අලුත් ගමනකට මුලපුරමු

මෙරට ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ එකිනෙකාට චෝදනා කිරීමෙන් නොව අර්බුදයට අවශ්‍ය විසඳුම් සොයා බලා ඒ අනුව වර්තමානයට ගැළපෙන ලෙස කටයුතු කිරීමෙන් බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා සඳහන් කරයි. මේ ඒ පිළිබඳව ඔහු දැක්වූ අදහස්ය.

අප රට ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයකට පසුගිය වසර දෙක තුළ මුහුණ දුන්නා. මේ තත්ත්වය පිළිබඳ එක් එක් අය විවිධාකාරයේ විග්‍රහ කිරීම් කරනු ලබනවා. දැන් මේ අර්බුදය පිළිබඳ තවදුරටත් කතා කිරීම සහ චෝදනා කිරීමද කළ යුත්තේ, නැතිනම් මේ අර්බුදයට විසඳුම්ද සෙවිය යුත්තේ?

ඇත්තෙන්ම කුමන හෝ හේතුවක් නිසා අප රට අද වන විට ලොකු අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒක විග්‍රහ කරන්නේ ආර්ථික අර්බුදයක් විදිහටයි. මේ අර්බුදය පිළිබඳව එකිනෙකා තමන් නිදොස් බව පවසමින් අනෙක් අයට චෝදනා එල්ල කරනවා. එහෙත් මේ විදිහට චෝදනා එල්ල කරන එක කොයි තරම් සුදුසුද, සාධාරණද, මේ චෝදනා එල්ල කර ගැනීම මඟින් අර්බුදයට විසඳුම් ලැබෙනවාද කියන කරුණ සලකා බැලිය යුතුයි. මම මේ අර්බුදය සහ විවිධ පාර්ශ්වවල හැසිරීම පිළිබඳව සරල උදාහරණයක් පෙන්වා දෙන්නම්. අතීතයේ ප්‍රභාමත්ව තිබූ වලව්වක් තිබෙනවා. එදා මේ වලව්ව කෙමෙන් කෙමෙන් බිඳවැටුණා, තීන්ත හේදුනා, උළු බිඳුණා, වහල දිරුවා, කපරාරු ගැලවෙන්න පටන් ගත්තා. මේ දේවල් වෙද්දි එදා සිට අද දක්වා සිටි වලව්වේ අයිතිකාරයෝ කිසිම පියවරක් නොගෙන එදිනෙදා පිළියම් යොදමින් සිටියා. එහි ප්‍රතිඵලය වුණේ මේ වලව්ව කඩා වැටෙන්න පටන් ගත්තා. අද වන විට එදා තිබූ වලව්ව කඩාවැටිලා තිබුණු විභූතිමත් බව නැහැ. එහෙත් අද එකිනෙකා මේ වලව්ව කඩා වැටුණ එකට චෝදනා කරමින් ඉන්නවා විතරයි. උත්තර හොයන්නේ නෑ.

අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්ති දෙකක් තිබෙනවා, ඒ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ පසුව ඇති කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ ආකාරය ගැන විවිධ පාර්ශ්ව අදහස් පළ කරනවා, සංවෘත ආර්ථිකය පිළිබඳව ඇතැමුන් අද ප්‍රශංසනාත්මකව අදහස් දක්වනවා. මේ ගැන ආර්ථික විශේෂඥයකු විදිහට ඔබේ අදහස් පළ කළ හැකිද?

1948 වර්ෂයේ සිට 1977 අවුරුද්ද දක්වා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ වමේ පක්ෂ සන්ධානගතව ආණ්ඩු කළා. විවිධ අගමැතිවරු බලයට පත් වුණා. එහෙත් මූලික ලෙස සංවෘත ආර්ථිකය කියන ප්‍රධාන ප්‍රතිපත්තියෙන් බැහැරව කටයුතු කළේ නැහැ. සමහර විට ආර්ථිකය පිළිබඳව ඒ ව්‍යුහය ඇතුළත සුළු වෙනස්කම් සිදු වෙන්න ඇති. එහෙත් මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඇති. එහෙත් මූලික ප්‍රතිපත්ති වෙනසක් සිදු වුණේ නැහැ. දේශීය කර්මාන්ත ක්‍රියාත්මක කිරීම, වගා සංග්‍රමය, ජනසතු ව්‍යාපාර ඒ යුගයට අයත් ජනප්‍රිය ආර්ථික මූලික උපායන් බවට පත්ව තිබුණා. සීනි කර්මාන්ත, පේෂකර්මාන්ත, කඩදාසි, වානේ කර්මාන්ත සාර්ථකව පවත්වාගෙන ගියා. ඒ තුළින් යම් සාධනීය තත්ත්වයක් අප දකිනවා. කාටත් අත නොපා ස්වාධීනව නැඟී සිටීමේ ශක්තිය ලැබුණා. ඒත් අපට ස්වයං ප්‍රභූත වෙන්න බැරි වුණා. ඒකට හේතුව වුණේ අප රට තුළ නිෂ්පාදනය කර ගැනීමට නොහැකි අත්‍යවශ්‍ය දේවල් තිබීමයි. ඉන්ධන ආනයනය කිරීමට සිදු වුණා. බොහෝ තාක්ෂණ උපකරණ, වාහන ආනයනය කිරීමට සිදු වුණා. ඒ තත්ත්වය තුළ අපේ මුදල් විශාල ප්‍රමාණයක් විදේශයන් වෙත ඇදී ගියා.

1977න් පසු ඇති වුණ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ මෙරට ආර්ථික තත්ත්වයට ලැබුණේ කුමන ආකාරයේ ප්‍රතිඵලද, ඒ ගැන පැහැදිලි කළ හැකිද?

විවෘත ආර්ථිකය සමඟ අතර මැදි වෙළෙඳ ප්‍රජාවක් බිහි වෙලා රටට ඕනෑ දේ පමණක් නොවෙයි, අනවශ්‍ය දේත් ආනයනය කළා. ඒ නිසා රටේ දේශීය මුදල් විශාල ලෙස විදේශයන් වෙත ඇදී ගියා. 1977 සිට අද දක්වා පවත්වා ගෙන ගියේ එකම ආර්ථික ප්‍රතිපත්තියක්. වෙනත් විදිහට පරම්පරා දෙකකට වඩා වැඩි කාලයක් ක්‍රියාත්මක වෙන්නේ මේ විවෘත ආර්ථික ක්‍රමය. ජයවර්ධනගෙන් පටන්ගත් මේ ක්‍රමය වික්‍රමසිංහ ආණ්ඩුව දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුළ ජනාධිපතිවරු රැසක් පත් වුණා, ගෙදර ගියා. එහෙත් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වුණේ නැහැ.

සමස්තයක් විදිහට ගත්තාම මේ ක්‍රමය තුළත් සාධනීය දියුණුවක් ලැබුවා. පොල් අතු ගෙවල් තිබුණ අයට උළු ගෙවල් ලැබුණා, තාර පාරවල් අධිවේගී මාර්ග වුණා, වරායවල්, ගුවන්තොටුපොළවල් ඉදි වුණා. ඒ සියලු දේ නිසා රට සාපේක්ෂ දියුණුවකට වෙනසකට ලක් වුණා. මේ භෞතික දියුණුව අප හරිහම්බ කර ගත් දේවල්වලින් ලැබුණු දියුණුවක් වුණේ නැහැ. මේ දියුණුව ලැබුවේ විදේශ තාක්ෂණය විදේශ මුදල් භාවිත කර වික්ටෝරියා, රන්ටැඹේ, රන්දෙණිගල ඇතුළු ජලාශ ඉදි වුණේ විදේශ තාක්ෂණයෙන්, විදේශ ණයවලින්. ගම්උදාව වගේ ව්‍යාපෘති නිසා රටේ උප ආර්ථික ගොඩනැඟුණා. මේ හැමදේකටම මුදල් ලැබුණේ විදේශ ණය විදිහටයි. අපට මේ ලබා ගත් ණය වාරික, පොලිය ගෙවා ගන්නකම් ගැටලුවක් තිබුණේ නැහැ. අපට දිගටම ණය අරන් පොලී ගෙවලා වාරික ගෙවලා කටයුතු කළා නම් අදත් අර්බුදයක් නැහැ. ඒත් අපට මේ ණය වාරික සහ පොලිය ගෙවීමට බැරි තත්ත්වයක් ඇති වුණා. ඒක තමයි අපට ආර්ථික අර්බුදය කියල දැනෙන්න ගත්තේ.

අයි.එම්.එෆ්. වගේ ණය ගන්න විශාල කැපකිරීමක් කරන්න ඕනෑ, ලොකු ක්‍රියාවලියකින් පසුයි ණය මුදල් ලැබෙන්නේ. අද අප සමාජයක් විදිහට ලොකු කැපකිරීමක් කරන්නේ මේ අයි.එම්.එෆ්. ණය නිසයි. මෙතැනදී අප ලබා ගන්නා ණය, ප්‍රතිලාභ ඇතිවන විදිහට ආයෝජනය කළ යුතුව තිබෙනවා.

රටක් විදිහට අප ලබා ගන්නා ණය යෙදවිය යුත්තේ කොහොමද, ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

ණය ලබා ගැනීමෙන්ම සියල්ල විසඳා ගන්න පුළුවන් වෙන්නේ ඒ ණය මුදල බුද්ධිමත් විදිහට ආයෝජනය කිරීමෙන් පමණයි. ණය මුදල් ඵලදායි විදිහට ආයෝජනය කිරීමට පුළුවන් වුණොත් එයින් ලැබෙන ප්‍රතිඵලයද ඵලදායක දෙයක් වෙනවා. උදාහරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් මේ දේ. කෙනෙකු ගෙයක් ගන්න ණයක් අරගන්නවා. එයා ණය ගන්නේ නැතිව ඒ සල්ලිවලින් කාලා බීලා ජොලි කරනවා, අන්තිමට ඔහුට ගෙයත් නෑ ණයත් නෑ. කෙනෙකු බුද්ධිමත් විදිහට ගෙයක් හදන්න ණයක් අරන් එයින් ගෙයක් හැදුවොත් ණය මුදල ගෙවීමෙන් පසු ඒ ගේ ණයකරුට අයිති වෙනවා.

අනෙක් කරුණ වන්නේ අප ලබා ගන්නා ණයවලින් හදන දේවලින් උපයන මුදලින් ණය වාරික පියවීමට හැකියාව තිබෙනවාද යන්න. එහෙම පුළුවන් වුණොත් අපට ණය ලබා ගැනීමේ අරමුණ සාර්ථකව අවසාන කළ බව සඳහන් කරන්න පුළුවන්. එහෙත් මා ඉහත සඳහන් කළ කිසිවක් හරියාකාරව සිද්ධ වුණේ නැහැ.

මේ තත්ත්වය තුළ අපට වැරදුණේ කොතැනද යන්න සලකා බැලිය යුතුයි නේද?

අනිවාර්යෙන්ම අපට වැරදුණේ කොතැනද, අපට වැරදුණේ ඇයිද යන්න සලකා බැලිය යුතුයි. ඒ ගැන ඉතාමත් තදින් සොයා බැලිය යුතුයි. එහෙත් ඒ දේ නිසි විදිහට සිදුවන බවක් පෙනෙන්නට නැහැ. එක් උදාහරණයක් පෙන්වා දෙන්නම්. අද අපි ණය අර්බුදයේදී චෝදනා එල්ල කරන්නේ ඒ ඒ කාලවල සිටි පාලකයන්ටයි, ඔය ජේ.ආර්. ගත්ත ණයක්, ඔය මහින්ද ගත්ත ණයක්, නැති නම් චන්ද්‍රිකා ගත්ත ණයක් කියලා වගකීම් පවරනවා. එහෙත් මේ ණය සියල්ල අරන් තිබෙන්නේ රටේ වැඩවලට මිසක් ඒ ඒ නායකයන්ගේ පුද්ගලික වැඩ සඳහා නොවෙයි රජය සඳහායි ණය ගත්තේ. ණය ගන්නේ ආණ්ඩු නොවෙයි, ශ්‍රී ලංකා රජය විසිනුයි. ඒ නිසා කවුරුන් ණය ගත්තත් ඒ ණය ගෙවීමේ වගකීම තිබෙන්නේ ශ්‍රී ලංකා රජයටයි.

අපි අවුරුදු හැත්තෑ පහක් තුළ විවිධ ආණ්ඩු පත් කර තිබෙනවා. මැතිවරණවලින් පරදවලා තිබෙනවා, ජනතා බලය මඟින් පලවා හැර තිබෙනවා. ඡන්ද දායකයාට පරමාධිපත්‍ය බලය තිබෙනවා ආණ්ඩු පිළිබඳ තීරණ ගන්න. මේ කාලය තුළ ජනතාව විටින් විට ආණ්ඩු පිළිබඳව තීරණ අරන් තිබෙනවා. එහෙත් මේ කිසිදු තීරණයකින් අපේ ප්‍රශ්න විසඳිලා තිබෙනවාද, නැහැ.

ආණ්ඩුව සහ දේශපාලනය නියෝජනය කරනු ලබන පිරිස ගත්තාම මුළු රටේම විසිදහසක් පමණ පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මෙරට ජාතික ආදායමෙන් සියයට දෙකක් පමණ වියදම් වෙනවා. එහෙත් රට කරන්නේ ආණ්ඩුව නොවෙයි රජය විසිනුයි. රජය කියන්නේ ජනාධිපති ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරීවරයා තෙක් පිරිසයි. මේ පිරිස ලක්ෂ පහළොවකට අධිකයි. අපට මේ අවුරුදු හැත්තෑපහ තුළ ආණ්ඩු මාරු කළාට රජය මාරු කරන්න බැරි වුණා. ආණ්ඩු මාරු කරලා අපට මෙතෙක් කල් ප්‍රතිඵලයක් ලබා ගැනීමට බැරි වුණා. රටේ ජනගහනයෙන් ලක්ෂ හැත්තෑවක් ඉන්නවා රජයේ සේවකයන් සහ ඔවුන් මත යැපෙන පිරිස්. මේ අය නඩත්තු කරන්න රටේ ජාතික ආදායමෙන් සියයට විසි අටක් පමණ යනවා. මේ අය නඩත්තු කරන්න සියයට විසි අටක් ගියාට ඔවුන්ගෙන් ජාතික ආර්ථිකයට ලැබෙන්නේ සියයට එකොළහක ප්‍රතිලාභයක් පමණයි. එහෙම බැලුවාම හිඟය සියයට දාහතක හිඟයක්. මේ සඳහා අවශ්‍ය කරන මුදල් ලැබෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්. සාපේක්ෂව මෙම හිඟය පියවන්න මුදල් සොයාගන්න ඕනැ එතැනදී. රාජ්‍ය සම්පත් විකිණීම හෝ දෙස් විදෙස් ණය ලබා ගැනීම කළ යුතුව තිබෙනවා. මෙහිදී පරිපාලනයේ වැරැදි සිදු වුණේ රජයේ නිලධාරීන් අතින්. ඒ තත්ත්වය තමයි දීර්ඝ කාලීනව බලපා තිබෙන්නේ. රාජ්‍ය සේවය අද වන විට අර්ධ කාලීන රැකියාවක් බවට පත්වෙලා තිබෙනවා. අද පාසල් අධ්‍යාපනයෙන් පමණක් විභාග සමත් වූ දරුවන් ඉන්නවා කියනවා නම් ඒක වැරැදියි. ළමයි පාසල් යන්නේ පාර්ට් ටයිම් ටියුෂන් යන්නේ ෆුල් ටයිම්. මේ විනාශයට වගකියන්න ඕනෑ රජයේ නිලධාරීන් හා රජය බව පැහැදිලියි.

අපි රජයට බැන්නාට රාජ්‍ය නිලධාරීන් එහෙම වෙන්න හේතුවක් තිබෙනවා. මේ තැන්වලට බොහෝ අය පුරවන්නේ දේශපාලන හිතවත්කමට. ඒ තත්ත්වයේ ප්‍රතිඵලය සැබෑ දක්ෂයෝ ඇත්ත හැකියාව තිබෙන පිරිස් වෙනුවට දේශපාලන හිතවතුන් මේ තැන්වලට පත්වීමයි. එහෙම සිදු වෙද්දී රාජ්‍ය සේවය සාර්ථකභාවයට හෝ රාජ්‍ය ආයතන සමත් ආයතන බවට පත් කිරීමට තිබෙන අවස්ථාව නැතිව යනවා. මූලිකව මේ ආකල්ප වෙනස් විය යුතුයි. මෙන්න මේ යන්ත්‍රණය වෙනස් නොවී රටට ඉදිරියට යන්න බැහැ.

මේ තත්ත්වයට විසඳුම කුමක්ද, ඒ ගැන පැහැදිලි කළ හැකිද?

අප ජනතාව විදිහට ආණ්ඩුව පවත්වාගෙන යන්න බලය ඉල්ලුව අයට අඩු වැඩි වශයෙන් බලය ලබා දුන්නානේ. ජයවර්ධනට හයෙන් පහක් දුන්නා, චන්ද්‍රිකාට දෙවරක් බලය ලබා දුන්නා, මහින්දට තුනෙන් දෙකක් දුන්නා. යහපාලනය හවුලට බලය ලබා දුන්නා. ගෝඨාට ලක්ෂ හැටනවයක් දුන්නා. අද වෙද්දි සියලු ආණ්ඩු ෆේල් කියලා තහවුරු වෙලා ඉවරයි.

අද කියනවා පාර්ලිමේන්තුවේ පක්ෂ එකතු වෙන්න කියලා, ඒත් කවුරුත් එකතු වෙන්නේ නැහැ. බලය ලබා ගත් පිරිසක් එන්න කිව්වට එකතු වෙන්න කිව්වාට අනෙක් අය යන්නේ නෑ. එකඟතාවක් ඇති කරගන්නේ නැහැ. එහෙත් ඡන්ද දායකයන් විදිහට අපට හැකියාව තිබෙනවා සියලු පාර්ශ්වවලට බහුතර බලයක් නොදී එකතු වෙලා වැඩ කරන්න කියලා ඉල්ලන්න. ඡන්දයෙන් පක්ෂ කිහිපයකට ආසන තිහ, හතළිහේ කොටස් ලැබුණොත් ඒ අයට එකතු වෙලා වැඩ කරන්න වෙනවා. එහිදී අකමැති අයට විපක්ෂයට යාමට පුළුවන්. කැමැති අයට ආණ්ඩුවට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්.

උදිත ගුණවර්ධන

ඡායාරූපය – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT