Friday, May 2, 2025
Home » ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැ දකී

ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැ දකී

by mahesh
January 19, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති සංතෝෂ් ජා (Santhosh Jha) මහතා ඊයේ (18) ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළඳා සමිඳුන් වැඳපුදා ගත්තේය.

අනතුරුව මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ට ගිය තානාපතිවරයා උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අතීතයේ සිට පැවත එන දෙරටේ මිතුදම පිළිබඳවත්, ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා ලබා දෙන දායකත්වය පිළිබඳවත් උන්වහන්සේලා දැනුම්වත් කළේය.

ශ්‍රී ලංකාවේ තානාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර ඉන්දියානු දේශපාලන නායකත්වය, මෙරට ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කරන ලෙස තමන්ට දැනුම් දුන් බව තානාපතිවරයා මෙහිදී මහනාහිමිවරු හමුවේ පැවසුවේය. සියවස් ගණනාවක් ඈතට දිවයන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිතුදම තවත් ශක්තිමත් කිරීමට, පෙර සිටි තානාපතිවරු විශාල දායකත්වයක් ලබාදුන් බවත්, නව තානාපතිවරයාද එලෙසම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

සහෝදර රටක් ලෙස ඉන්දියාව සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ දියුණුව අපේක්ෂා කරමින් ආධාර උපකාර කළ බවත්, නිර්මල බුදු දහමද ඉන්දියාවෙන් මෙරටට ලැබීම මත දෙරට අතර නොබිඳිය හැකි ආගමික හා සංස්කෘතික බැඳීමක් ගොඩනැඟී තිබෙන බවත් මහනාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මේ අවස්ථාවට ඉන්දීය සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතීරා එස් මහත්මියද සහභාගී විය.

ඡායාරූප – රුවන් මීගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT