Home » තිරසර සංවර්ධනයට දායක වන අභියෝග රැසක් ජය ගැනීමට හැකි වුණා

තිරසර සංවර්ධනයට දායක වන අභියෝග රැසක් ජය ගැනීමට හැකි වුණා

ස්විට්සර්ලන්තයේ CII වටමේස සාකච්ඡාවේදී ජනපති කියයි

by mahesh
January 19, 2024 1:00 am 0 comment

ජනපති වටමේස සාකච්ඡාවේදී

තිරසර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනපතිවරයා මේ බව සඳහන් කළේ ඉන්දීය කර්මාන්ත සමූහය (CII) සහ ලෝක ආර්ථික සමුළුව විසින් ස්විට්සර්ලන්තයේ දී සංවිධාන කරන ලද වටමේස සාකච්ඡාවකට පසුගියදා (16) සහභාගි වෙමිනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දැක්ම පැහැදිලි කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම, ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාව යථා තත්ත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසකින් පැවති අභියෝග කෙටි කාලයකින් ජය ගැනීමට හැකි වූ බවයි.

ශ්‍රී ලංකාව සිය වෙළෙඳ ගිවිසුම් ක්‍රියාකාරීව පුළුල් කරමින් සිටින බවත් ඒ අනුව මෑතකදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹුණු අතර, පෙබරවාරි මාසයේදී තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට නියමිත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම වෙනුවෙන් ඉන්දියාව, චීනය සහ අග්නිදිග ආසියාතික රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ තුළින් ගෝලීය ආර්ථික ඒකාබද්ධතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ පෞද්ගලිකව ආයෝජනය කරන ලෙස ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ, මූල්‍ය සේවා සහ බලශක්තිය වැනි ප්‍රධාන අංශවල ද ආයෝජන අවස්ථා පවතින බව සඳහන් කළේය.

වෙරළාසන්නයේ පවතින සුළං බලශක්තිය මෙන්ම සූර්ය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් තිරසර බලශක්ති විසඳුම්වලට ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතාවෙන් යුතු ද්වි දිශා විදුලි සම්බන්ධතාවක් ඇති කිරීමට එකඟතාවක් පවතින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දියාව සමඟ භාණ්ඩ හා සේවා සම්බන්ධ වෙළෙඳාම, රේගු සහයෝගීතාව මෙන්ම වෙළෙඳ පහසුකම් සැලසීම පිළිබඳ සැලසුම් ඉදිරිපත් කරමින් දෙරට අතර, ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආර්ථික කටයුතු තවදුරටත් පුළුල් කරගැනීමට කටයුතු කෙරෙමින් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

තාක්ෂණික සහයෝගීතාව මෙන්ම වෙළෙඳ ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා අධ්‍යාපනික හා සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය සහ සමාජීය වශයෙන් ද දෙරට අතර, සම්බන්ධතාව වැඩිදියුණු කරගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවලට අයත් ප්‍රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ පැවති මේ වටමේස සාකච්ඡාවේදී, සැපයුම් දාමවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සෞඛ්‍ය සේවා, පාරිභෝගික නිෂ්පාදන, විදුලි සංදේශ සේවා සහ හරිත බලශක්තිය වැනි ක්ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විවිධ ආයෝජනවලට සුදුසුම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව මෙහිදී ස්ථානගත වූ අතර, ඩිජිටල් තාක්ෂණයේ පවතින වැදගත් අවස්ථා මෙන්ම, යටිතල පහසුකම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ද සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අදහසක් දෙමින්

අදහසක් දෙමින්

ප්‍රශ්නයක් විමසමින්

ප්‍රශ්නයක් විමසමින්

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT