Thursday, May 15, 2025
Home » කුඩා තේවතු ඵලදායිතාව නංවන්නට CIC කෘෂි ව්‍යාපාරයෙන් මිලියන 50ක ආයෝජනයක්

කුඩා තේවතු ඵලදායිතාව නංවන්නට CIC කෘෂි ව්‍යාපාරයෙන් මිලියන 50ක ආයෝජනයක්

by manjula
January 20, 2024 1:00 am 0 comment

පෞද්ගලික-රාජ්‍ය-මහජන සහයෝගීතාවක් මඟින් තිරසර සංවර්ධන වැඩසටහනක්

ලාභ ලබන්නේ නැති රජයේ වතු බදු පදනම යටතේ වෙනත් සමාගම්වලට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ‘දල්ලකින් වෙනසක් – තේ අස්වනු සංග්‍රාමය’ යන මැයෙන් ගාල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සී.අයි.සී. සමාගම, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය හා කුඩා තේවතු සමිති සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

සී.අයි.සී. කෘෂි ව්‍යාපාර (පුද්ගලික) සමාගමේ සමාජ සත්කාරක සේවාවක් ලෙස එම සමාගමේ මූල්‍යමය දායකත්වයෙන් සිදු කරන මෙම වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව පසුගියදා ගාල්ල නගර ශාලාවෙහි පවත්වන ලද අතර, මෙම අවස්ථාව සඳහා තේ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. එම්. එන්. ධර්මවර්ධන, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ඩී. ජී. මහීපාල මහතා, කුඩා තේ වතු හිමියන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

වැඩසටහනෙහි මුඛ්‍ය අරමුණ තේ කර්මාන්ත‍ෙය් තිරසර සංවර්ධනය හා ඵලදායිතාව නැංවීමයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් “CIC කෘෂි ව්‍යාපාර සමාගමේ උපදේශක ආචාර්ය සිධාකරන් මහතා පවසා සිටියේ “මෙරට ආර්ථිකයේ ප්‍රමුඛතම වැවිලි භෝගයක් වන “තේ” කර්මාන්තය ක්‍රමයෙන් අඩු ආදායම් උපයන කර්මාන්තයක් බවට පත්වෙමින් පවතින බවත් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා සියලු පාර්ශ්වයන් මැදිහත් විය යුතු බවත්ය. ඒ අනුව ඒ සඳහා අවැසි දායකත්වය CIC කෘෂි ව්‍යාපාර (පුද්ගලික) සමාගම විසින් සිදු කිරීමට පෙරමුණ ගත් බවයි.

“දැල්ලකින් වෙනසක්” ව්‍යාපෘතිය මඟින් ආදර්ශ තේ ගොවීන් කණ්ඩායම් පිහිටුවීම, ඔවුන්ගේ ඉඩම්වලින් ලැබෙන තේ අස්වැන්න ඉහළ දැමීම, තේ දලුවල ප්‍රමිතිය ඉහළ දැමීම, දැනුම, නිපුණතා සහ පුහුණුව සමඟ වැඩිදියුණු කළ නිෂ්පාදන ලබාදීම, දේශගුණික විපර්යාස බලපෑම්වලට අනුගත විය හැකි බුද්ධිමත් තේ ගොවීන් සංවර්ධනය කිරීම, නවීන තාක්ෂණය හා කෘෂි විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ කුඩා තේ ගොවීන් ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් කිරීම. මේ අනුව මෙම වැඩසටහනේ පළමු අදියර ගාල්ල, මාතර හා රත්නපුර තේ වගා කරන ප්‍රදේශවල කුඩා තේවතු හිමියන් ඇසුරින් ආරම්භ කිරීමට නියමිත බව පැවසූ සිධාකරන් මහතා, මෙරට අපනයන ආදායමෙන් 14% ලබාදෙන තේ කර්මාන්තය තිරසර සංවර්ධන අරමුණු අනුව ප්‍රතිසංස්කරණ කිරීමට කඩිනමින් පියවර නොගතහොත් ඒ හා ජීවිකාව ගෙන යන පවුල් ගණනාවකගේ ආදායම් මාර්ගය අවදානමක පවතින බවට ද අනාවරණය කළේය. ඒ අනුව එම ප්‍රදේශවල තේ වගාවේ නිරත කණ්ඩායම් නායකයින් 200ක් හඳුනා ගැනීමට නියමිත අතර, එක් කණ්ඩායමකට ව්‍යවසායී ගොවි මහතුන් 15 – 29 පමණ ඇතුළත් වන ආකාරයෙන් කණඩායම් 200ක් පිහිටුවීමට අපේක්ෂා කරයි. ඒ අනුව පළමු අදියර සඳහා කුඩා තේවතු හිමියන් 3000ක් ආවරණය කෙරේ.

මෙම කණ්ඩායම් ඇසුරේ ගොවි නායකයින් දැනුම්වත් කිරීම, ගොවි කණ්ඩායම් දැනුම්වත් කිරීම හා තාක්ෂණික සහාය ලබාදීම, ඉඩම් සංවර්ධනයේදී මාස 06ක කාලයක් පුරා තාක්ෂණික උපදෙස් අනුව සංවර්ධන කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරයි.

මෙම අරමුණ සඳහා මෙහෙයවීමේදී උපදෙස් ලබා දෙන්නේ එක් පඳුරකින් දැනට ලබාගන්නා දලු ප්‍රමාණයට වඩා දලු 10ක් වැඩි කර ගන්නා ලෙසයි. එසේ වීමෙන් අක්කරයකට අමතර දලු කිලෝග්‍රෑම් 45ක් වැඩිකරගත හැකියි අපේක්ෂා කරයි. පඳුරකින් දලු 25ක් වැඩි කරගත හැකි නම් අමතර දලු කිලෝ ග්‍රෑම් 112ක් වැඩිකර ගත හැක. එක් පඳුරකින් දැනට ලබන අස්වැන්නට අමතරව දලු 50ක් නෙළා ගැනීමට සැලසුම් කරන්නේ නම් මසකදී අක්කරයකින් ලබාගත හැකි අමතර දලු ප්‍රමාණය කිලෝ 225කි. දැනට පවතින තේ ඉඩම් වැඩි අස්වැන්නක් මෙන්ම ඒ තේවල ගුණාත්මක තත්ත්වය වැඩි කිරීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණයි.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT