Thursday, May 15, 2025
Home » දඩ කෙළිය

දඩ කෙළිය

by manjula
January 20, 2024 1:00 am 0 comment

 

සාජා පොලිසිය රථවාහන දඩ සඳහා 50%ක වට්ටමක් ලබා දුන්නේ, පසුගිය වසරේ නොවැම්බර් 29 දාය. 51 වන ජාතික දිනය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන සැමරුම්වලට සමගාමීව ලබාදුන් මෙම දඩ සහනය නිමාවට පත් වන්නේ අද දිනයේය. සාජා පොලිසිය ලබා දෙන එහෙම දඩ සහන අපට ලැබෙන්නේ නැත. රටේ මාර්ග විනය නරකම තැනක නැත්තේය. යුරෝපයට සමානව බලන කල්හි එය අවුල් වුවද, දකුණු ආසියාවේ මාර්ග විනය අතින් ‘හොඳටම කර ඇත්තේ අපය’.

එසේ වුවද වාහන කාණ්ඩ තුනක් පාරේ හැසිරෙන්නේ අවුල්ම ආකාරයට බව කිව හැක්කේය. පුද්ගලික බස් සඳහා වන විනය පටිපාටිය පිළිබඳව කොතරම් දැනුවත් කර තිබුණ ද ‘ඒ ඇදය’ ඇරෙන්නේම නැත. බයික් ද බොහෝවිට නරකය. ඒ අතරින් ස්කූටි ඇත්තේ නරකම තැනය. මේ සඳහා ‘ඩිලිවරි, බයික් ද එක්ව ඇත්තේය. මල්ලක් පස්සේ දමාගෙන, දඩයමේ යන්නා සේ හදිස්සියට ඒ පිරිස අදාළ ස්ථානය වෙත යන්නේ, පාළු පාරේ තමන් පමණක් ගමනක් යන සෙය්‍යාවෙනි. අනික ත්‍රීවීල්ය. මේ ආකාර තුන පාරට බැස්ස විට, අනෙකුත් අයගෙන් ද සමහරු කෙළින පිස්සු සමඟ මහ මඟ සමපාත වූ විට, පාරේ විනය පිරිහෙන්නේය. ඒ සඳහා ඇති පිළියම දඩය වේ. ස්වයං විනය නොමැත්තේ නම් එය ඇති කළ හැක්කේ දඬුවම මාර්ගයෙනි.

දඩය යන්න මහ පාරේදී අවුල් වැඩකි. සිදු කළ වැරැද්දට පොලිසිය වාහනය නතර කරන්නේය. රියැදුරු බලපත්‍රය ගෙන දඩ කොළය දෙන්නේය. එය තැපැල් කන්තෝරුවට ගෙවා, පොලිසියට යළි පැමිණිය යුත්තේය. තැපැල් කන්තෝරුවට ගෙවන ලද කොළය, පොලිසියට ඉදිරිපත් කළ විට ලයිසන් එක යළි ලැබේ.

මෙසේ කිව හැක්කේ නමුදු දඩය ගෙවනවා යන්න ඒ තරම් සරල නැත. කතරගම බලා ගම්පහ සිටින අයෙක් යන්නාහ. දඩය වදින්නේ තිස්සමහාරාමයේදීය. වේලාව රාත්‍රී අට යැයි සිතමු. ගම්පහ බලා එන කෙනාට මේ දඩය ගෙවීම සඳහා ඒ රාත්‍රියේ මඟක් නැත්තේය. දඩ කොළය ගෙවා, ලයිසන් එක ලබා ගැනීමට, තිස්ස පොලිසියට පැමිණිය යුතු හෙයින් එදින රාත්‍රියේ ‘තිස්සේ’ නවාතැන් ගත යුත්තේය. නැතිනම් අදාළ කාලය තුළ යළි තිස්ස බලා පැමිණිය යුත්තේය. ඊට වඩා හොඳම ක්‍රමය රාළහාමි වෙත දාහේ පටියක් දික් කර, වැඩේ ගොඩින් ෂේප් කර ගැනීමය. මේ නිසා දුර ගමන් යන වාහන, රාත්‍රී කාලයේදී සොයා පොලිසියේ සමහරෙක් විශේෂ උනන්දුවකින් ක්‍රියා කරන්නාහ. අනික රස්තියාදුවය. තැපැල් කන්තෝරු ගානේ ගොස් දඩ ගෙවා, පොලිසියට පැමිණ එය පෙන්වා, ලයිසන් එක ලබා ගැනීම යනු දඩය ගෙවීමට වඩා දඬුවමකි. එකම වැරැද්දට නීතිය දෙවරක් දඬුවම් නොකරන්නේය. එය මූලධර්මයකි. එසේ වූවාට රථවාහන වැරැදි සඳහා දඬුවම වට තුනකින් පමණ ලැබෙන්නේය. රාත්‍රී කාලයේ වාහන රාශියක් චෙක් කර, වැරැදි සොයනා බැවින් ලයිසන් එක ගෙන දඩපත ලියා දීම සඳහා පොලිසිය විනාඩි පහළොවකට ආසන්න කාලයක් ගන්නේය. මේ ආදී රස්තියාදු ‘ඉක්මන් ගමන්’ යන සමාජයකට ඔරොත්තු දෙන්නේ නැත. ඔය කලකිරීම් සියල්ල බැර වන්නේ ආණ්ඩු විරෝධී ගොඩටය.

පොලිසිය ජරාව කෑම සඳහා හුරුකරවීමේ පළමු පාඩම ද ඇත්තේ ඔය ‘දඩ කෙළියේය’. වෑන් රථයක් පැදවීමේදී මාර්ග නීති කඩ කළ සිද්ධියක් සම්බන්ධයෙන් දඩ කොළයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීම වෙනුවෙන් පොලිස් නිලධාරියෙකු පෙට්‍රල් ලීටරයක් ඉල්ලා සිටි පුවතක් මාවතගම ප්‍රදේශයෙන් වාර්තා විය. රියැදුරා කළේ, පෙට්‍රල් ලීටරය දෙන එකේ සිට සියල්ල ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරීමය.

තමන්ගේ වාහනයෙන් පෙට්‍රල් ලීටරයක් ගෙන නිලධාරියාට දුන් පසු, අසල නතර කර තිබූ යතුරුපැදියකට නිලධාරියා එය දමා ගත්තේය. සෙසු පොලිස් පිරිස ද සිද්ධිය බලා සිටින්නාහ. මේ වීඩියෝව සමාජ මාධ්‍යයේ වයිරල් විය.

මේ සාමාන්‍ය අයෙක් මුහුණ දෙන තත්ත්වයය. ඔවැනි අත්දැකීම් අනුව දඩ ගසන්නේ ආණ්ඩුව වුවද, එයින් කොටසක් සමහර පොලිස් නිලධාරීහු සිය සාක්කුවට දමා ගන්නාහ. අල්ලසක් දෙනවාට විරුද්ධ අයෙක් පවා, තමන් විඳින රස්තියාදුව හේතුවෙන් කීයක් හෝ ලබාදී, වැඩේ ෂේප් කර ගැනීමට යුහුසුළු වෙන්නෝය.

රථ වාහන දඩය ගෙදරට ඒම වෙනත් රටවල සාමාන්‍ය දෙයකි. දඩ ගසන්නේ ‘තාක්ෂණය’ බැවින්, ෂේප් කර ගැනීමට හෝ අල්ලස් ගැනීමට කෙනෙක් එතැන නැත. වැරැද්ද සොයා පොලිසිය ගස් අස්සේ හෝ කණ්ඩි සඳහා මුවා වී සිටිය යුත්තේ ද නැත. ඉන්දියාවේ නගර සියයක මේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේය. දඩය නොගෙවා සිටිය හොත්, මෝටර් රථ ලියාපදිංචියේ ඇති දත්ත ගබඩාවේ එය සටහන් වේ. ඒ අනුව අදාළ වාහනය විකිණීම සඳහා යන මොහොතේදී අර දඩ තොගය සඳහා පොලියත් සමඟ මුදල් ගෙවීමට හිමිකරුට සිදු වන්නේය.

ස්ථානීය දඩ වෙනුවට ස්වයංක්‍රියව ක්‍රියාත්මක වෙන දඩ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ වසර දහයක පමණ සිටය. මේ රටේ එවැනි දේ සඳහා ඇත්තේ ‘යමර කයිවාරු’ පමණය. ආරම්භයක් හෝ ලබා දුන්නා නම් වැඩේ මෙලහටත් වෙලාය. පෙරේදා මේ පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි යමක් සිදු විය.

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධතිය උපයෝගි කර ගෙන මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන, සඳුදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පතිවරයා නිවේදනය කළේය. එම වැරැදි සඳහා අදාළ දඩ පත්‍රිකා, වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වනු ඇත. රථ වාහන පොලිස් නිලධාරීන් විසින් රියැදුරන්ගේ වැරැදි අනාවරණය කර ගැනීමට වඩා තුන්සිය ගුණයක් සී.සී.ටී.වී. කැමරා ඔස්සේ සිදු කළ නිරීක්ෂණයන්ගෙන් රථ වාහන වැරදි හසු වී තිබේ. මේ නිසා පොලිසිය නැති වෙලාව බලා පිස්සු කෙළීමේ සිට සියල්ල අහවරය.

 

මේ ආරම්භය අනගිය. එතැනින් වැඩේ නතර නොකර ස්වයංක්‍රිය දඩ ක්‍රියාවලිය සඳහා රටම, වැඩි දවසක් නැතිව යොමු කරනු ඇතැයි, මේ තීරුව අපේක්ෂා කරන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT