Home » රැලි පිට රැලි පෙරළෙන රතු මුහුදේ කුණාටුව

රැලි පිට රැලි පෙරළෙන රතු මුහුදේ කුණාටුව

by manjula
January 20, 2024 1:10 am 0 comment

හිටිහැටියේම අමෙරිකාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හවුති ත්‍රස්තවාදීන් ගෝලීය ත්‍රස්ත සංවිධානයක් ලෙසින් නම් කරනා බවය. එම තීරණය ඔවුන් විසින් ගනු ලැබුවේ පසුගිය 17 වන බදාදාය. මේ සමඟ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍යය, යුද ගුවන්යානා, සබ්මැරීන ආධාර කරගනිමින් යේමනයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවල සිටින හවුතිවරුන්ගේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කරමින් සිටී.

ඊශ්‍රායල්වරුන් රතු මුහුදට ආසන්න වූ විට මෝසෙස් තමාගේ සැරයටිය මුහුද දෙසට දිගු කළේය. මුහුද දෙබෑ විය. එයින් ඔහු තමාගේ අනුගාමිකයිනට ආරක්ෂිතව යා හැකි පරිදි මාර්ගය සාදා දුන්නේය. ඊජිප්තුවරු ඔවුන් පසුපස ගිය නමුත් මෝසෙස් යළි සැරයටිය දිගු කළ සැණින් යළිත් මුහුද එක්විය. එහිදී ඊශ්‍රායල්වරුන් පසුපස ලුහුබැඳ ගිය හමුදාව මුහුදට බිලි විය. ඊශ්‍රායල් ජාතිකයන් දින තුනක් තිස්සේ ජලය සොයාගෙන ගියේ රතු මුහුද හරහාය. තුන්වන දින ඔවුන්ට ජලය සොයාගත හැකි වූ මුත් එම හමු වූ ජලය ද තිත්ත රසයෙන් යුක්ත වූයෙන් එය බීමට නුසුදුසු විය.

රතු මුහුද හා සම්බන්ධ කතාවන්හි ඉතිහාස ගත විස්තර දැක්වෙන්නේ එසේය. ඉතිහාසයේදී ඊශ්‍රායල්වරුන්ට හමු වූ ජලය තිත්ත රසයෙන් යුක්ත වූවා සේම වර්තමානයේදීද ඔවුනට රතු මුහුද අමිහිරි සිදුවීම් ගෙන එන සාගර තීරයක්ව පවතී. එයට හේතුව හවුති ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරයන්ට තම නෞකාවන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙනි.

හවුති ත්‍රස්තවාදීන් මේ ආකාරයට රතු මුහුද හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවන් සඳහා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය වසරේදීය. ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් පලස්තීන ජනතාව ඝාතනය කිරීමත් සමඟ එකට එක කරන්නට මෙන් ඔවුන් රතු මුහුදේ සටන ආරම්භ කරනු ලැබුවේ, ඊශ්‍රායලයේ යැයි ඔවුන් හඳුනාගත් නෞකාවක් පැහැර ගැනීමෙනි.

රතු මුහුදේ සටන

මේ ආකාරයට ඔවුන් එය ආරම්භ කළේ 2023 නොවැම්බර් මස 19 වැනිදාය. හවුති ත්‍රස්තවාදින් Galaxy Leader නෞකාවට ප්‍රහාර එල්ල නොකළ නමුත් රතු මුහුදේ සටන ආරම්භ කළේ නෞකාවේ කාර්ය මණ්ඩලය ද තම භාරයට ගනිමිනි. මෙම පැහැර ගැනීමත් සමඟ හවුති හමුදා ප්‍රකාශක සඳහන් කර සිටියේ “ අපි නෞකාවේ කාර්ය මණ්ඩලයට සලකන්නේ ඉස්ලාමීය මූලධර්ම හා සාර්ධර්මවලට අනුකූලව යැයි පවසමිනි. කෙසේ වෙතත් අවසානයේදී හෙළිදරව් වූයේ එම නෞකාව ජපානයේ මෝටර් රථ ප්‍රවාහන නෞකාවක් බවත්, බ්‍රිතාන්‍යයේ සමාගමකින් බදු දී තිබූවක් බවත්ය. එහෙත් මෙම නෞකාවේ සම අයිතියක් ඊශ්‍රායල ව්‍යාපාරිකයකු වන Ramsi Ungarට ද තිබිණි.

පරණ කතා එසේ වුවත් හවුති කැරලිකරුවන් යළිත් රතු මුහුදේ ප්‍රහාරයක් ආරම්භ කරනා බව පැවසුවේ මීට ටික දිනකට ඉහතදීය. ඔවුන් පසුගියදා ඉන්දීය නැවකට ද ප්‍රහාර එල්ල කළේ මේ නිසාය. නිසැකවම නෞකාවන් කවර රටකට ද යන්න නිශ්චිතවම ඔවුන්ට අවබෝධ කරගත නොහැකි හෙයින් ඔවුන් විසින් සිදු කරනුයේ ඊශ්‍රායලය දෙසට ගමන් ගන්නා සියලු නෞකාවන්ට පහර දීමයි. මෙම ප්‍රහාරයන් වේගවත් කිරීමට හවුති කැරලිකරුවන් සූදානම් වූයේ ඊශ්‍රායල ප්‍රහාරයන් වැඩි වැඩියෙන් ගාසා තීරයට එල්ලවීමත් සමඟිනි.

රතු මුහුද

මේ වන විට හවුති සටන්කාමීන්ගේ ප්‍රහාරයන් සහ ඔවුනට ප්‍රතිප්‍රහාර එල්ල කරන අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල ප්‍රහාරයන් හේතුවෙන් වැඩි වශයෙන් ලෝක මාධ්‍යයන්හි කතා බහට රතු මුහුද මාතෘකාවක් වී තිබේ. එතෙක් රතු මුහුද සම්බන්ධයෙන් කතා බහ කරනු ලැබුවේ මුහුදු ගමන් මාර්ග සිතියමේ ඉතා කෙටි මාර්ගයක් ලෙසිනි. හිස වට අතදා නාසය අල්ලනවා මෙන් දකුණු අප්‍රිකාව වටා නෞකාව ගමන්‍ නොකර රතු මුහුදේ කෙටි මාර්ගය, වෙළෙඳ සේවාවන් සොයා ගත්තේ එහෙයිනි. මෙම තීරය සූවස් ඇළ සහ මධ්‍යධරණී මුහුදට සම්බන්ධ වීමත් සමඟ එය යුරෝපය සහ ආසියාව අතර වැඩි වශයෙන් සමුද්‍ර ගමනාගමනයක් සිදු වන මාර්ගය ලෙස හැඳින්වේ. මීටර් 3400ක පමණ උපරිම ගැඹුරකින් යුත් රතු මුහුදේ සාමාන්‍ය ගැඹුර ලෙසින් සඳහන් වන්නේ මීටර 490කි. මෙම මුහුදු මාර්ගයේ 40%ක් පමණ මීටර් 100-300ත් අතර කලාපයක් ඇති අතර මීටර් 50ට අඩු කලාපය 25%කින් පමණ යුක්තය. එමෙන්ම ලෝකයේ වඩාත් උණුසුම් හා වඩාත් ලවණ සහිත ජලය තිබෙනුයේද රතු මුහුදේය. ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය සඳහන් කරන ආකාරයට, ජාත්‍යන්තර නාවික වෙළෙඳාමෙන් 15%ක් සිදු වන්නේ මෙම නාවික මංතීරුව ඔස්සේය. ඉන්ධන සහ ස්වාභාවික වායු මෙන්ම පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ලොව ඇති වැදගත්ම නාවික මාර්ගය වන්නේද මෙයයි. දළ වශයෙන් රතු මුහුද වර්ග කිලෝමීටර් 438,000 පමණ ප්‍රදේශයක පිහිටා ඇති අතර කිලෝමීටර් 2, 250ක පමණ දිගකින්ද එහි පළලතම ස්ථානය කිලෝමීටර් 355කින් පමණ යුක්තය. රතු මුහුදට අයත් විශේෂිත වූ ආර්ථික කලාපයක් ලෙස හැඳින්වෙන මෙහි අයත් රටවල් ලෙස දැක්වෙන්නේ සුඩානය, එරිත්‍රියාව, යේමනය හා ඊජිප්තුවයි.

පසුගිය සතියේ හවුති ත්‍රස්තවාදීන් එල්ලකරන ලද මිසයිල ප්‍රහාරයකින් ග්‍රීක නෞකාවකටද අලාභ හානි සිදුව තිබිණි. භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන Zografa වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යේමනයට ආසන්න රතු මුහුදේදීය. ග්‍රීසියට අයත් මෝල්ටාවේ ලියාපදිංචි වූ නෞකාව ඒ මොහොත වන විට වියට්නාමයේ සිට ඊශ්‍රායලය බලා යාත්‍රා කරමින් සිටි අතර එහි කාර්ය මණ්ඩලය ද 29 දෙනකු සිටියහ. පසුගිය නොවැම්බරයේ සිට වේගවත් වූ හවුතිවරුන්ගේ ප්‍රහාරයන් ද සමඟින් ඔවුන් ප්‍රකාශ කරනුයේ ඊශ්‍රායලයට අයත් හෝ එ‍රට වරායන් වෙත යාත්‍රා කරන ඕනෑම යාත්‍රාවකට තමන් පහර දෙන බවයි. එහෙත් ඔවුන්ගේ කතාන්දර කෙසේ වෙතත් මේ වනතුරු ඔවුනට ඊශ්‍රායලයට අයත් නෞකාවකට පහරදීමේ අවස්ථාවක් නොලැබිණි. ඔවුන් ඉලක්ක කරගත් බොහෝ නෞකාවන් ඊශ්‍රායලයට ඍජු සම්බන්ධයක් නොමැති ඒවාය.

මුහුදේ ආරක්ෂාව

හවුතිවරුන්ගේ මෙම ප්‍රහාරයත් සමඟින් ඒ වෙනුවෙන් මුලින්ම ඊට එරෙහි ක්‍රියාමාර්ගයන්ට තකහණියේ සූදානම් වූයේ අමෙරිකා එක්සත් ජනපදයයි. මේ සඳහා ඔවුන් අනෙකුත් රටවලද සහභාගිත්වය අපේක්ෂා කරනු ලැබුවේ රතු මුහුද හරහා අතිවිශාල වෙළෙඳ නැව් සංඛ්‍යාවක් දිනකට එහා මෙහා ගමන් කිරීම හේතුවෙනි.

මාස දෙකක පමණ කාලයක් හවුති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයන් හේතුවෙන්, පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ කලාපයේ වාණිජ ගමනාගමනය ආරක්ෂා කිරීමට මුල පිරීමක් කළ යුතු බවයි. රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් Operation Prosperity Guardian (OPG) සඳහා අමෙරිකාව සමඟින්, එක්සත් රාජධානිය, නෝර්වේ, නෙදර්ලන්තය, ග්‍රීසිය, කැනඩාව හා ඔස්ට්‍රේලියාව මේ මොහොත වන විටත් නිල වශයෙන් කටයුතු කරමින් සිටී.

IKEA සමාගම සහ එක්සත් රාජධානියේ NEXT මෙම රතු මුහුද හරහා බහුල ලෙසින් තම වෙළෙඳ භාණ්ඩයන් ප්‍රවාහනය කළ රටවල් දෙකකි. නමුත් ඔවුන්ටද දැන් දැන් දැඩි ලෙසින් ප්‍රහාරයන්හි බිය දැනෙන්නට පටන් ගෙන තිබේ. එහෙයින් ඔවුන් අනතුරු අඟවා තිබුණේ නැව්ගත කිරීමේ බාධාවන් මේ අයුරින් දිගටම පැවතුනහොත් ඔවුන්ගේ නිෂ්පාදනයන් පාරිභෝගිකයාට ලබාදීමට කල්ගත විය හැකි බවයි. එසේ නිෂ්පාදන අමුද්‍රව්‍යයන් හිඟවීම මත තම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයන් සිදු කිරීම කඩාකප්පල් වී ඇති සමාගමක් වන්නේ Tesla සමාගමයි. ඔවුන් තම විදුලි මෝටර් රථ කර්මාන්තය තාවකාලිකව අත්හිටුවා ඇත්තේ සැපයුම් හිඟතාව මතය. කෙසේ වෙතත් රතු මුහුද හරහා නොපැමිණ දිගු ගමන් මඟින් එන වෙළෙඳ නෞකාවන්හි භාණ්ඩ මිල මේ වන විට ඉහළ අගයක් ගෙන තිබේ. සැපයුම්කරුවන් පවසන පරිද්දෙන් පසුගිය සතිය තුළ අඩි 40ක කන්ටේනරයක මිල 15%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි. මෙහි අවාසනාවන්තම කාරණාව වන්නේ මේ සියලු මිල ඉහළයාම් අවසානයේ කඩාපාත් වන්නේ පාරිභෝගිකයාගේ හිස මතට වීමය. එමෙන්ම තවත් සැලකිය යුතු කාරණාවක් වන්නේ මෙම අර්බුදකාරි වාතාවරණය නිසා කවර හෝ මොහොතක ඉන්ධන මිලද වැඩිව යා හැකි බවය.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරනුයේ, Shell සමාගම රතු මුහුද හරහා යාත්‍රා කරනු ලබන තමන්ගේ නැව්ගත කිරීම් දින නියමයක් නොමැතිව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි. Shell සමාගම යනු බ්‍රිතාන්‍යයේ විශාලතම ඉන්ධන ව්‍යාපාරිකයෙකි. භාණ්ඩ ප්‍රවාහන විශ්ලේෂණ සමාගමක් වන වෝටෙක්සාට අනුව 2023 වසරේ මුල් කාර්තුවේදී පමණක් දිනකට ඉන්ධන බැරල් මිලියන නවයක් පමණ සූවස් ඇළ හරහා නැව්ගත කර තිබිණි.

වෙළෙඳ නෞකාවන්ගේ ආරක්ෂාව

BBC පුවත් සේවය සඳහන් කරනා ආකාරයට එක්සත් ජනපදය ප්‍රමුඛ අනෙකුත් රටවල් හවුති සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් මිල සියයට හතරකට වඩා ඉහළ ගොස් තිබේ.

ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන් හේතුවෙන් අමෙරිකාව ඇතුළු රටවල් වෙළෙඳ නෞකාවන් ආරක්ෂා කිරීමට කටයුතු කළ ද එය දුෂ්කර කටයුත්තක් බව පවසන්නේ සමුද්‍ර ආරක්ෂක සමාගමක් ලෙසින් කටයුතු කරනා Neptune port to port Group හි බුද්ධි අංශයයි. ඔවුන් ප්‍රකාශ කරනුයේ හවුතිවරුන් ප්‍රහාරයන් සඳහා යොදවන ආයුධවලින් බේරීමට වෙළෙඳ නෞකාවන් මත තැබිය හැකි කිසිදු පද්ධතියක් වාණිජමය වශයෙන් කොතැනකින් හෝ ලබා ගත නොහැකි බවයි. එමෙන්ම, ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ ප්‍රහාරයන්ගෙන් වැළකීමට ඇති හැකියාව අල්ප බවත්ය. එමෙන්ම පසුගිය දෙසැම්බරයේ මැද භාගයේ සිට බහලුම් නැව් හාරසියයකට වැඩි සංඛ්‍යාවක් රතු මුහුද මඟහැර සිය නාවික ගමන් මඟ වෙනස් කර ඇතැයි පවසන්නේ ස්විට්සර්ලන්තයේ සැපයුම් සහ ප්‍රවාහන සමාගමක් වන Kyehne+Nagelය. එය සූවස් ඇල හරහා යාත්‍රා කරන නෞකාවන්ගෙන් සියයට හැත්තෑඅටක පමණ ප්‍රතිශතයකි. මේ අතරට OOCL,MSC, Maersk, Hapak Lloyd හා BRITISH PERTOLEUM ඇතුළත් වන අතර ඔවුන් තම ගමන් මාර්ගය ලෙසින් මේ මොහොතේ දක්වා ඇත්තේ ඔවුන් දකුණු අප්‍රිකාව වටා ගමන් කිරීමට කටයුතු යොදා ඇති බවකි. කෙසේ වෙතත් මේ සියල්ල අවසානයේ පොලියත් සමඟින් බර පැටවෙන්නේ ලෝකවාසී පාරිභෝගිකයාගේ හිස මතය.

මේ අතර හිටිහැටියේම අමෙරිකාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හවුති ත්‍රස්තවාදීන් ගෝලීය ත්‍රස්ත සංවිධානයක් ලෙසින් නම් කරනා බවය. එම තීරණය ඔවුන් විසින් ගනු ලැබුවේ පසුගිය 17 වන බදාදාය. මේ සමඟ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍යය, යුද ගුවන්යානා, සබ්මැරීන ආධාර කරගනිමින් යේමනයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවල සිටින හවුතිවරුන්ගේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කරමින් සිටී. යම් හෙයකින් මෙම ප්‍රහාරයන් රතු මුහුද සීමාවේ සිට කවර හෝ රටක අභ්‍යන්තරයට ඇතුළු වුවහොත් පුදුම වීමට දෙයක් ද නැත. මන්ද ඔවුන් ප්‍රහාර එල්ල කරනුයේ ත්‍රස්තවාදීන්ට හෙයිනි.

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT