Thursday, May 15, 2025
Home » ඊටීඅයි තැන්පත්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

ඊටීඅයි තැන්පත්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

by manjula
January 20, 2024 1:01 am 0 comment

මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ අංශය මගින් ඊටීඅයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් නිසි පරිදි අධීක්ෂණ කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීරණය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) අවසර දුන්නේය.

එම මූල්‍ය සමාගමේ තැන්පතු සම්බන්ධයෙන් ගැටලුව ඇති වන අවස්ථාව වන විට මහ බැංකුවේ අදාළ අංශයේ කටයුතු කළ නිලධාරීන් මේ පෙත්සමේ වගත්තරකරුවන් ලෙස පෞද්ගලිකව නම් කරන ලෙසද නියම කෙරිණ. ඊටීඅයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය විසින් මේ පෙත්සම ගොනු කර තිබිණි. පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ජූනි 14 දා ගොනු කරන ලෙස නියම කෙරුණු අතර, ප්‍රතිවිරෝධතා ජූලි 15 දා ගොනු කරන ලෙස නියම කරනු ලැබිණි.

පෙත්සම සම්බන්ධ ලිඛිත දේශන අගෝස්තු 15 දා ගොනු කිරීමට නියම වූ අතර, පෙත්සම් විභාගය සැප්තැම්බර් 18 දා ඇරඹීමට නියම කෙරිණි. ඊටීඅයි මූල්‍ය සමාගම, එහි අධ්‍යක්ෂකවරුන්, බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණය කිරීම් අංශ අධ්‍යක්ෂවරයා, මහ බැංකුව අධිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගුත්තරකරුවෝ වෙති. පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ තමන් ඊටීඅයි මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ නමුත් එම මුදල හෝ ඊට අදාළ තැන්පතු මුදල් මෙතෙක් ලැබීම නැති බවයි. එම මූල්‍ය ආයතනය ක්‍රියාත්මක වන බවට 2011 වසරේ සිට මහ බැංකුව දැන සිටි නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට ඔවුන් කටයුතු නොකළ බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. එමඟින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් මුල්‍යාංගනය වී ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේය.

නීතිඥ සදුන් සේනාධිපති මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර, අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT