ජනපති රනිල්ට නැවත අවස්ථාවක් දිය යුතුයි
ඇමැති ප්‍රසන්න රණතුංග
අත්දැකීම් නැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙළිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඇමැතිවරයා අවධාරණය කරන්නේ ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු බව තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවයි.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඊයේ (18) මේ බව සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, නිපුණ රණවක, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.
ප්‍රශ්නය – අද දින පැවතුණ වැඩසටහන ගැන කතා කළොත්?
පිළිතුර- අපි ආණ්ඩුව පිහිටුවපු මුල් අවුරුදු තුන ඇතුළත නොයෙකුත් අර්බුදවලට මුහුණ දුන්නා. කොරෝනා නිසා අපට අවුරුදු දෙකක් වැඩ කරගන්න බැරිවුණා. ඒ වෙලාවේ අපි මිනිස්සුන්ගේ ජීවිත බේරාගන්න වැඩ කළා. ඊට පස්සේ අරගලය නිසා මාස හය හතක් වැඩ කරගන්න බැරිවුණා. වත්මන් ජනාධිපතිවරයා අය වැය ඉදිරිපත් කරන වෙලාවේදීම කිව්වා ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකරන්න කියලා. ඒ අනුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. ඒ කමිටුවේ තීන්දු තීරණ අනුව තමයි අපි මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල වැඩ කරගෙන යන්නේ.
ප්‍රශ්නය – ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොහොට්ටුවේ වැඩපිළිවෙළ කොහොමද?
පිළිතුර – අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියා පොහොට්ටුව පක්ෂයක් විදියට තවම තීන්දුවක් අරගෙන නැහැ. ඒක ඉදිරියේදී තීන්දු කරාවි. මහ මැතිවරණයක් පවත්වන්නේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකරන්න පුළුවන් පුද්ගලයන් පත් කරන්නයි. හැබැයි ජනාධිපතිවරයෙක් පත් කරන්නේ රටේ ජාතික ප්‍රශ්න විසඳන්නයි. උදාහරණයක් කිව්වොත් 2005 දී මහින්ද රාජපක්ෂ මහත්තය පත්කළේ යුද්ධය අවසන් කරන්නයි. ඒ වගේම මිනිස්සු මෛත්‍රීපාල මහත්තයට ඡන්දය දුන්නේ රටේ යහපාලනය ඇති කරන්නයි. හැබැයි ඔහු ඒක කළාද නැද්ද කියා ජනතාව තීන්දු කරාවි. ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගෙනාවේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්නයි.
ප්‍රශ්නය – පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා නම් කළ යුතුයි කියා ඔබ කියලා තිබුණා. ඒක පක්ෂයේ මතයද?
පිළිතුර – ඒක මගේ පෞද්ගලික මතය. වර්තමානයේ රටේ තියෙන ලොකුම අර්බුදය තමයි ආර්ථික අර්බුදය. අද කතා කරන නායකයෝ ඔක්කොම පැන ගියපු වෙලාවක ආර්ථික අර්බුදය විසඳීමේ වගකීම භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනපති විතරයි. ඒ නිසා ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන රට ස්ථාවර කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට තවත් අවස්ථාවක් දියයුතු බව මම වගේම බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඊට පස්සෙ පුළුවන් හොරු අල්ලන අය, කයිවාරු ගහන අය පත්කර ගන්න. හැබැයි රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න වත්මන් ජනපතිවරයාට තවත් අවස්ථාවක් දිය යුතු බව මම විශ්වාස කරනවා. මොකද අත්දැකීම් නැති ජනාධිපතිවරයෙක් පත්කරගෙන රට නැවත අනතුරේ හෙළන්න බැහැ.
ප්‍රශ්නය – ඒ කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහාය වත්මන් ජනාධිපතිවරයාට ලැබෙනවා කියන එකද?
පිළිතුර – නෑ. මම කිව්වෙ මගේ මතය. පොහොට්ටුව පක්ෂයක් විදියට අනාගතයේදී තීන්දුවක් ගනීවි.
ප්‍රශ්නය – හැබැයි ධම්මික පෙරේරා මහතා කියනවා තමන් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා?
පිළිතුර – මම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. මම දන්න විදියට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයක් විදියට ධම්මික පෙරේරා මහත්තයා එක්ක එහෙම එකඟතාවකට ගිහින් නැහැ. එහෙම සාකච්ඡාවක් වුණා කියා අපව දැනුම්වත් කරලත් නැහැ.
ප්‍රශ්නය – ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද?
පිළිතුර – ඔහු ඉල්ලනවද නැද්ද කියා මම දන්නෙ නෑ. හැබැයි ඔහු ඉල්ලනවානම් අපි අවස්ථාවක් දිය යුතුයි.
ප්‍රශ්නය – රාජ්‍ය ආයතනවල වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. මේ ගැන මොකද කියන්නේ?
පිළිතුර – දැන් රටට සංචාරකයෝ එනවා. සංචාරකයන් එන එක නවත්වන්නනම් අරගල කරන්න ඕනෑ. වැඩ වර්ජන කරන්න ඕනෑ. එතකොට රටට විදේශ මුදල් ලැබෙන්නේ නැහැ. එතකොට ආර්ථික අර්බුද හැදෙනවා. වෘත්තීය සමිති දේශපාලන න්‍යාය පත්‍ර අනුව වැඩ කර රට වැට්ටුවොත් ආපහු පෝලිම් යුගයක් නිර්මාණය වේවි. ජනතාව මේ තත්ත්වය තේරුම්ගෙන වැඩ කරන්න ඕනෑ. එක පාරක් අරගල කරල දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තිබ්බා. එහෙමනම් මේ වැඩ වර්ජන කරන මිනිස්සුන්ට ජනතාව පාඩමක් උගන්වන්න ඕනෑ.
ප්‍රශ්නය – සමහරු කියනවා වෘත්තීය සමිති තහනම් කරන්න ඕනෑ කියලා?
පිළිතුර – වෘත්තීය සමිති හොඳයි. වෘත්තීය සමිති තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ. නමුත් අද වෘත්තීය සමිති වැඩ කරන්නේ දේශපාලන න්‍යාය පත්‍ර අනුවයි. ඒක වැරදියි.
උපාලි කරුණාරත්න