Home » ඩයනාගේ මන්ත්‍රී ධුර පෙත්සම:අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

ඩයනාගේ මන්ත්‍රී ධුර පෙත්සම:අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

by manjula
January 20, 2024 1:04 am 0 comment

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් 31වැනිදා අභියාචනාධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) අවසරලබා දුන්නේය.

එම පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය සහ වගඋත්තරකාර පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබා දෙන ලදි. අදාළ පෙත්සම් විභාගය කඩිනමින් සිදු කර අවසන් කිරීමට තීරණය කළ අධිකරණය ලබන පෙබරවාරි මස 12 සහ 13 දිනවල සිදු කිරීමට නියම කෙරිණ. කිසිදු හේතුවක් මත පෙත්සම් විභාගයට ගන්නා දිනය සම්බන්ධයෙන් කල් ඉල්ලා නොසිටින ලෙස පාර්ශ්වයන්ට නියම කෙරිණ.

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා පෙත්සම කැඳවන ලදි. එහිදී පෙත්සම්කාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය. වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව ඔහු සඳහන් කළේය.

එසේම ඇය ශ්‍රී ලංකා පුරවැසිභාවය මෙන්ම ද්විත්ව පුරවැසිභාවය පවා නොමැති තැනැත්තියක් බව ඔහු කියා සිටියේය. විදේශ ගමන් බලපත්‍රයේ පවා ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් ලෙස සඳහන්ව ඇති අතර, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් ලෙස ඇය ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන බව ද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

විනිසුරු අචල වෙංගප්පුලි මහතා: වගඋත්තරකාරියට විදේශ ගමන් බලපත්‍රය කීයක් තිබෙනවාද?

නීතිඥවරයා ඇයට බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දෙකක් සහ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර දෙකක් තිබෙනවා.

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා : වගඋත්තරකාරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට තිබෙන නුසුදුසුකම කුමක්ද?

නීතිඥවරයා: ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙක්. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇයට සුදුසුකමක් නෑ.

සිය ශ්‍රී ලාංකීය පුරවැසිභාවය තහවුරු කරන කිසිදු ලේඛනයක් ඇය අධිකරණයට ඉදිරිපත් කර නැති බව ද නීතිඥවරයා සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය සිය විදේශීය පුරවැසිභාවය වසන්කොට මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණුවලින් පැහැදිලි වන බව ඒ මහතා කීය.

එහිදී වගඋත්තරකාර ඩයනා මහත්මිය වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙම අභියාචන පෙත්සම නීති විරෝධී බවය.

අභියාචනාධිකරණය සිය සේවාදායිකාව සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුව නිවැරදි බව ඒ මහතා සඳහන් කළේය.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ඉදිරිපත් කර ඇති ලේඛනවල සහතික පිටපත් ඉදිරිපත් කර නොමැති බැවින් එය අභියාචනාධිකරණ රීතීන්වලට පටහැණි බව ද ඒ මහතා සඳහන් කළේය.

එසේම පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් වූ මූලික විරෝධතා පිළිගැනීම සම්බන්ධයෙන් කරුණු වසන් කිරීමට මෙම පෙත්සම් මඟින් කටයුතු කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකොළ මහත්මිය සඳහන් කළේ අදාළ විදේශ ගමන් බලපත්‍ර පෙත්සම්කාරියගේද යන්න නිශ්චිත ලෙස සඳහන් කිරීමට නොහැකි බවය.

එහිදී විනිසුරු මඬුල්ල ප්‍රශ්න කර සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාගේ ස්ථාවරය කුමක්ද යන්නය.

සිය සේවා දායකයා කිසිදු පාර්ශ්වයකට පක්ෂපාති නොවන අතර ස්වාධීන බව ද ඇය සඳහන් කළේය.

එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇතැයි විරෝධතා මඟින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ආගමන විගමන පාලකවරයා ඉල්ලීමක් කර ඇති බවය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම විභාග කිරීමට තීරණය කළේය.

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට එම පෙත්සම ගොනු කළ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර ඇත.

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවෝ වෙති.

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බව පෙත්සමෙහි සඳහන් වේ.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරු එය ඉකුත්දා නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටී.

එම තීන්දුව අසාධාරණ සහ වැරදිසහගත බව පෙත්සම්කරු කියයි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට ඩයනා ගමගේ මහත්මියට සුදුසුකම් නැති බවට තීරණය කරන ලෙස මෙම පෙත්සම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

එසේම අදාළ අභියාචනාධිකරණ තීන්දුව නීතියට පටහැණි බවට තීරණය කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

බ්‍රිතාන්‍ය පුරවැසියකු වන බැවින් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් ගාස්තු සහිතව නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේ දෙකට එකක් ලෙස වන බෙදුණු තීන්දුවකිනි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT