Thursday, May 15, 2025
Home » උඩප්පුවේ මාදැල් වාඩියකට ගිනි තබා වනසලා

උඩප්පුවේ මාදැල් වාඩියකට ගිනි තබා වනසලා

by manjula
January 20, 2024 1:12 am 0 comment

ධීවර ගැටුමක ප්‍රතිඵලයක්; අලාභය රුපියල් කෝටි තුනකට අධිකයි

උඩප්පුව වෙරළ තීරයේ මාදැල් වාඩියකට ඊයේ (19) අලුයම කිසියම් පිරිසක් කළ ගිනි තැබීමෙන් රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් ධීවර ආම්පන්න විනාශ වී ඇති බව උඩප්පුව පොලිසිය පවසයි.

මෙසේ විනාශ කර ඇත්තේ උඩප්පුව ප්‍රදේශයේ පාරම්පරික මාදැල් හිමිකරුවන් පිරිසකට අයත් ධීවර ආම්පන්න රඳවා තිබූ වාඩියකටයි. ඊයේ (19) අලුයම මෙම මාදැල් වාඩියේ මුරකරුවන් දැක ඇත්තේ කිසියම් පිරිසක් මෙම මාදැලට ගිනි තබා කුඩා බෝට්ටුවක නැඟී පිටව ගිය බවයි. එසේ පැමිණි පිරිසේ සිව් දෙනෙකු කිසියම් දෙයක් ධීවර මාදැල් වාඩියේ දැල් ආම්පන්නවලට දමා ඉන් පසුව ගිනි තැබීම සිදුකර ඇති බව මෙම මුරකරුවන් දැක තිබේ.

කෙසේ වෙතත් ගිනි තැබීමත් සමඟ මුරකරුවන්ගේ කෑගැසීමෙන් කලබලයට පත් වූ පිරිස කඩිනමින් ඔවුන් පැමිණ ධීවර යාත්‍රාවේ නැඟී පිටව ගොස් ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

මෙම ගිනි තැබීමෙන් මාදැල් වාඩිය හා නවතා තිබූ වල්ලම්, දැල් ආම්පන්න ඇතුළු දෑ සියල්ලම විනාශ වී තිබුණි.

එහි අලාභය රුපියල් කෝටි තුනකට ආසන්න බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ. උඩප්පුව මාදැල් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති කේ. සුන්දරම් මහතා පවසා සිටියේ මෙම ගිනි තැබීම සිදුකර ඇත්තේ ධීවර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බවයි.

එහිදී වැඩිදුරටත් ඔහු පවසා සිටියේ උඩප්පුව මුහුදු තීරයේ හලාවත ධීවරයින් පිරිසක් කඩා වැදී ඉස්සන් ඇල්ලීමට මතු කළ විරෝධය හේතුවෙන් ගැටුමක් ඇතිවූ බවත්, එය උඩප්පුව පොලිසිය මැදිහත්ව පාර්ශ්ව දෙකටම ඇතිවූ අලාභයන්ට වන්දි ගෙවීමක් පවා සිදුවූ බවයි.

එම සිද්ධිය මුල් කර ගනිමින් මෙම ගිනි තැබීමට අදාළ ගැටුම ඇති කර ගත් හලාවත ධීවරයින් විසින් සිදුකර ඇති බවට තමන් විශ්වාස කරන බවට උඩප්පුව මාදැල් හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා චෝදනා කරයි.

කෙසේ වෙතත් මාදැල් වාඩියට ගිනි තැබීමත් සමඟ එයින් ඍජු රැකියාවේ නිරත වූ ධීවර කාර්මිකයින් 50කට ආසන්න පිරිසකට රැකියාව අහිමි වී ගොස් ඇති බවත් ඒ සමඟම වක්‍රව රැකියාවේ නිරත වූ තවත් 100කට අධික පිරිසකටද තම රැකියා අහිමි වී ඇති බවයි.

මාදැල් වාඩියට ගිනි තැබීම ආරංචි වීමත් සමඟ විශාල පිරිසක් උඩප්පුව වෙරළ තීරයට පැමිණ කම්පාවට පත්ව සිටින අයුරු දැක ගත හැකි විණි.

මෙම සිද්ධිය සම්බන්ධව උඩප්පුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ පුත්තලම දිසා සමූහ – ප්‍රසාද් පුර්ණමාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT