Thursday, May 15, 2025
Home » පුත්තලම-කොළඹ දුම්රියේ කාරයක් ගැටී හතරකට බරපතළයි

පුත්තලම-කොළඹ දුම්රියේ කාරයක් ගැටී හතරකට බරපතළයි

by manjula
January 20, 2024 1:00 am 0 comment

ජා-ඇළ කුඩහකපොළ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී පුත්තලම සිට කොළඹ කොටුව බලා ගමන් ගනිමින් තිබූ දුම්රියක ගැටුණ සුපිරි මෝටර් රථයක ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු බරපතළ තුවාල සහිතව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ජාඇළ පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ජා-ඇළ කුඩහකපොළ පදිංචි 52 සහ 45 වියේ පසුවන අමුසැමි යුවලක් සහ අවුරුදු 52 වයසැති මවක් සහ ඇගේ 22 හැවිරිදි දියණියක් බවත් අනතුරට පත් පිරිස විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව තම නිවෙස් බලා අදාළ මෝටර් රථයෙන් ගමන් නිමින් සිටියේදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මේ අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ ආරක­්ෂිත බෙල් ඇන්ඩ් ලයිට් (විදුලි සංඥා හා නළා හඬ) ක්‍රියාත්මක වෙමින් තිබූ බවත් මෙවැනි තත්ත්වයක තිබියදී අනතුරට පත් මෝටර් රිය අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයට ඇතුළුකොට ඇති බව විමර්ශන කටයුතු වලදී හෙළිවූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති වුවත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බෙල් ඇන්ඩ් ලයිට් පද්ධතියක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසා සිටියේය. ජා-ඇළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ මෙහයවීම මත රථවාහන පාලන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් බස්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ජාඇළ විශේෂ – තිස්ස කොටින්කඩුව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT