Thursday, May 15, 2025
Home » සිම්බාබ්වේට පැරදුණාම වෙනස් මතයක් ඇයි?

සිම්බාබ්වේට පැරදුණාම වෙනස් මතයක් ඇයි?

ඇන්ජලෝ මැතිව්ස්

by manjula
January 20, 2024 1:20 am 0 comment

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරගයක් පරාජයට පත්වූ පසු සමාජයේ විශාල කතිකාවක් ගොඩනැඟෙන බවත්, එය එසේ වන්නේ කෙසේද යනුවෙන් සමහරු ප්‍රශ්න කරන බවත් ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.

“සිම්බාබ්වේට පැරදුනාම සමහරු හිතනවා එහෙම වෙන්න බෑ කියලා. සිම්බාබ්වේ කණ්ඩායම කිසිසේත්ම අවතක්සේරුවට ලක් කරන්න බෑ. ඔවුන්ගේත් හොඳ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට හිතන්න බෑ. අපි අද කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළා. පෞද්ගලිකව මට දක්ෂතා අතරට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුටුයි. එයටත් වඩා තරගාවලි ජය ගැනීම පිළිබඳ සතුටට පත්වන බව කිව යුතුයි” ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහි අවසන් තරගයේ පන්දු රැකීම, පන්දුවට පහරදීම හා පිතිකරණය යන අංශ තුනේම සාර්ථකත්වය හේතුවෙන් මාස 30කට පසුව විස්සයි20 ද්විපාර්ශ්වික තරගාවලියක් දිනා ගැනීමේ වාසනාව ශ්‍රී ලංකාව සතු විය. ශ්‍රී ලංකාව අවසන් වරට විස්සයි20 තරගාවලියක ජය සටහන් කොට තිබුණේ ඉන්දියාවට එරෙහිව 2021 වසරේ ජූලි මාසයේදීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෙරේදා විදුලි ආලෝක ධාරා මැද පැවති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිල තවත් පන්දු 55ක් ඉතිරිව තිබියදී කඩුලු 9ක ජයක් වාර්තා කළ අතර, ඒ සමඟ තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වූවේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ පිලට ආරාධනා කළ හෙයින් ඕවර 14.1ක් තුළදී සියලු දෙනා ලකුණු 82කට දවා ගත්තේය. එම පහසු ඉලක්කය කඩුල්ලක් දැවී පසු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුහ.

අවසන් තරගයේ වීරයා සම්මානය නායක වනිඳු හසරංග දිනාගත් අතර, වසර 3කට පසු ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

“මම පසුගිය දින දෙකේ ගොඩක් කනගාටුවෙන් හිටියේ. දෙවැනි විස්සයි20 තරගය පරාජය වුණේ මගේ අතපසුවීමක් නිසයි. ඒ නිසා පසුගිය දින කිහිපයේම ඉතා කනගාටුවෙන් කාලය ගත කළා. මා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. ඒ නිසා අවසන් ඕවරයේ ලකුණු 20ක් දීම සුදුසු නෑ. කොහොම වුණත් අපේ සියලු අංශ දියුණුවට පත්ව තිබෙනවා. හොඳ නායකත්වයක් යටතේ ක්‍රීඩකයන්ගේ විශ්වාසය වැඩිවී තිබෙනවා. අපට ලෝක කුසලානයට කලින් තරග 9ක් තියෙනවා”

“මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා තරගයෙන් අනතුරුව මට කතා කරලා කිව්වා සිම්බාබ්වේ සමඟ තෙවැනි තරගය ඔහුගේ අවසන් තරගය කියලා. ඔහු කණ්ඩායමේ වෛද්‍ය උපදේශකත්වයෙන් සමු ගත්තා. ඔහු පෞද්ගලිකවත්, ක්‍රීඩකයෙක් ලෙසත් මා හඳුනනවා. මහාචාර්ය අර්ජුන නොමිලේ කළ කාර්යභාරය ඉතා විශාල එකක්. ඔහු හොඳ ක්‍රීඩා වෛද්‍යවරයෙක්. ඔහු නොමැතිවීම ඉදිරියේ පාඩුවක්. අපි කණ්ඩායමක් ලෙස ඔහුට ස්තූති කළ යුතුයි” මැතිව්ස් පැවසීය.

“නායකයෙක් ලෙස සහභාගී වූ පළමු තරගාවලිය ජය ගැනිම සතුටක්. ඒක විශ්වාසය වැඩිවීමක්. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ඉන්න නිසා ඊළඟ තරගාවලි දෙකම හොඳින් කරලා ලෝක කුසලානයට යනවා. ධනංජය ද සිල්වා විස්සයි20 තරගයට ගෙනාවේ උඩ තිදෙනා අතර පන්දුවට පහර දෙන්නයි. ලෝක කුසලානයට යනවිට හොඳ කණ්ඩායම් එකතුවක් හදා ගන්න අවශ්‍යයි. කුසල් තරග 2ක් අසාර්ථක වුණා. කුසල් රට වෙනුවෙන් ගොඩක් දේ කර තියෙනවා. තරග දෙකක් අසාර්ථක වූ පමණින් ක්‍රීඩකයකුගේ ජාත්‍යන්තර තරග අවසන් වෙන්න බෑ. චරිත් අසලංක පෙන්වා තියෙනවා තරගයක් ජයගන්න ඔහුට තියෙන හැකියාව පිළිබඳව. ඔහු සිටින එක මැද පෙළට ශක්තියක්. ඔහු උප නායකයා ලෙස ගොඩක් ශක්තියක් ලබා දෙනවා” නායක වනිඳු හසරංග කියා සිටියේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT