තායිවානයේ නව ජනාධිපතිවරයා ලෙස චීන විරෝධී විලියම් ලායි තේරී පත්වීම සම්බන්ධව ජපානය සුබ පැතීම චීනය හෙළා දැක ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජපාන විදේශ ඇමැති යෝකෝ කමිකාවා මේ සුබ පැතුම් පණිවුඩය තායිවානයේ නව ජනාධිපතිවරයාට යොමු කර ඇති අතර, එම සිදුවීම හෙළා දකින බව ජපානයේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අතිශයින්ම තීරණාත්මක හවුල්කරුවකු සහ වැදගත් මිතුරකු ලෙස ජපාන විදේශ ඇමැතිවරයා තායිවානයේ නව ජනාධිපතිවරයා හඳුන්වා දීම පිළිබඳ සිය විරෝධතාව ප්‍රකාශ කරන බවත්, එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බරපතළ මැදිහත්වීමක් බවත් ජපානයේ චීන තානාපති සිය නිල වෙඩ් අඩවියේ සඳහන් කර ඇතැයි වාර්තා වේ. චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගන්නා රටවලට තායිවානය සමඟ නිල වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා නොගැනීම පූර්ව කොන්දේසියක් බවට පත් කර ඇති අතර, චිනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති සෙසු රටවල් මෙන්ම ජපානය ද එම කොන්දේසියට අනුව තායිවානය සමඟ නිල සම්බන්ධතා නොපවත්වන බැවින් එරට නව ජනාධිපතිවරයාට සුබ පැතීම එම කොන්දේසි කඩ කිරීමක් බවත් ජපානයේ චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.