සිරියාවේ ඩමස්කස් අගනුවරට එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් ඉරාන හමුදා උපදේශකයන් පස්දෙනකු ඇතුළු සිරියානු හමුදාවේ නිලධාරීන් පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි ඉරාන විප්ලවවාදී හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය පිරිස අතර ඉරානයේ ඉහළම මට්ටමේ බුද්ධි අංශ ප්‍රධානියකු ද සිටින බව වාර්තා වේ.
පසුගිය සෙනසුරාදා එල්ල වූ මේ ප්‍රහාරයෙන් ගොඩනැගිලි සහ වාහන රැසක් ද විනාශ වී ඇතැයි වාර්තා වේ. පිපිරී කඩා වැටුණු ගොඩනැගිලි අතරට යට වූ හමුදා නිලධාරීන් සෙවීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇති අතර, මිසයිල ප්‍රහාරය පිළිබඳ ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැතැයි ද වාර්තා වේ. කෙසේ වුවද සිය හමුදා උපදේශකයන් ඝාතනයට ලක් වූයේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් බවත්, ඊට වගකිව යුතු පාර්ශ්වයට කඩිනමින් ප්‍රතිචාර දක්වන බවත් ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසි අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉරාන හමුදාවේ උපදේශකයන් රැඳී සිටි ගොඩනැගිල්ල ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර 4ක් එල්ල වී ඇතැයි ද, මහල් හතරකින් සමන්විත එම ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.