ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන මෙරට ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන සුපර් ලීග් ඇතුළු බොහෝ තරගවලට සහභාගී වන මුල් පෙළේ ක්‍රීඩා සමාජවලට නිසි මඟ පෙන්වීමක් නොමැතිකම හා දිගින් දිගටම පවතින ආර්ථීක ප්‍රශ්න හමුවේ අක්‍රිය තත්ත්වයට පත්ව සිටී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව බරපතළ අගාධයකට වැටෙමින් තිබෙන අතර, පාපන්දු ක්‍රීඩා සමාජ ශක්තිමත් නොවීමෙන් ජාතික තලයට දක්ෂ ක්‍රීඩකයන් බිහිවීම සම්පූර්ණයෙන්ම නැවතී තිබේ.
වසරින් වසර සංවිධාන වන ප්‍රධානතම සුපර් ලීග් පාපන්දු තරගාවලිය වසර 3කින් පවත්වා නැති අතර, වාර්ෂිකව පැවැත්වෙන මුල් පෙළේ අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිය වන ‘එෆ්. ඒ. කුසලාන’ පාපන්දු තරගාවලිය 2019 සිට මේ දක්වා සංවිධාන කිරීමට පාපන්දු සම්මේලනය කටයුතු කොට නැත.
එමෙන්ම පළමු පෙළ පාපන්දු තරගාවලිය වසර 5ක් තිස්සේ සංවිධාන කිරීමට අපොහොසත්ව ඇති හෙයින් පාපන්දු ක්‍රීඩා සමාජවලට උසස්වීමට ඇති එකම මඟ ඇහිරීම නිසා නැඟී එන ක්‍රීඩා සමාජ බලවත් කනස්සල්ලෙන් පසුවෙති. වැටුපට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවාගෙන ඇති ආරක්ෂක සේවාවල හැර අන්තර් ක්‍රීඩා සමාජ කාන්තා පාපන්දු ක්‍රීඩාව සම්පූර්ණයෙන් ඇනහිට ඇති අතර, වසර 4කින් කිසිදු කාන්තා පාපන්දු තරගාවලියක් සංවිධාන නොවීම මෙරට කාන්තා ක්‍රීඩාවට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බව ද පැවසේ.
ප්‍රධානතම සුපර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගී වූ රිනවුන් ක්‍රීඩා සමාජය, රත්නම් ක්‍රීඩා සමාජය, රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය, බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය, අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය හා නිව් යංග්ස් ක්‍රීඩා සමාජය තම පළමු පෙළ පාපන්දු කණ්ඩායම් මේ වන විට විසුරුවා දමා ඇත. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එම තරගාවලිය පිළිබඳ කිසිදු සූදානමක් නොමැති හෙයින් මුදල් වැය කරමින් පුහුණුවීම් පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බව ඔවුහු සඳහන් කර සිටිති.
මේ පිළිබඳව රිනවුන් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂ හා ලේකම් රොයිස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මාසයකට ලක්ෂ 11ක් වැනි වියදමක් දරා පාපන්දු ක්‍රීඩා කණ්ඩායමක් නඩත්තු කිරීමට නම් යම් ඉලක්කගත වැඩපිළිවෙළක් තිබිය යුතු බවය. “පාපන්දු තරගාවලි නැතිව කණ්ඩායමක් නඩත්තු කරන්නේ මොකටද? අපේ රිනවුන් ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු පඩි දෙන්න බැරි නිසා මාලදිවයිනට යැව්වා. ඒ අය මාලදිවයිනේ පාපන්දු ක්‍රීඩා කරනවා. අපේම උත්සාහයෙන් ඇකඩමිය කරගෙන යනවා. 19න් පහළ, 20න් පහළ පොඩි ළමයින්ට පාපන්දු ක්‍රීඩාව කියලා දෙනවා හැරෙන්න වෙන දෙයක් කරන්න බෑ. ක්‍රීඩා සමාජ පවත්වාගෙන යන්න උදව් වගේම තරගාවලි අවශ්‍යයි” රොයිස්ටන් ප්‍රනාන්දු මහතා ‘දිනමිණ’ට පැවසීය.
වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොට පවත්වාගෙන යන වෙන්නප්පුව නිව්යංග්ස් ක්‍රීඩා සමාජයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා පවසන්නේද එවැනිම කතාවකි. “ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පාපන්දු කණ්ඩායමක් නඩත්තු කිරීම කිසිම තේරුමක් නෑ. ඇමැතිතුමා ඇතුළු ඉහළ නිලධාරීන් දැනගත යුතු හොඳ ප්‍රශ්නයක් කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපිට ප්‍රැක්ටිස් කරන්න මාසයකට ලක්ෂ 10කට වඩා වැඩි මුදලක් යනවා. විදේශීය ක්‍රීඩකයන්ට වැටුප් දෙන්න ඕනේ. දේශීය ක්‍රීඩකයන්ටත් හොඳින් සලකන්න වෙනවා. ආහාර වගේම පෝෂණයට අවශ්‍ය දේවල් ක්‍රීඩකයන්ට දිය යුතයි. තරගාවලියක් පේන තෙක් මානයක නෑ. පාපන්දු නැති වුණත් විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකුට තවම මම මාස්පතා පඩි දානවා. මොකද ඒ අයත් එක්ක ගිවිසුමක් තියෙන නිසා. පාපන්දු නිසා අපි අද ණය ගෙවනවා. ලොක්කො පුටු රත් කරනවා” ප්‍රනාන්දු මහතා පැවසීය.
පාපන්දු සම්මේලනය නිල වශයෙන් පාපන්දු තරගාවලි සම්බන්ධයෙන් දැනුම්දී නැති හෙයින් තම ක්‍රීඩා සමාජය දැනට සුපර් ලීග් පාපන්දු තරගාවලියට සූදානමක් නැතැයි කොළඹ කොටහේනේ රත්නම් ක්‍රීඩා සමාජයේ ෂෙහාන් සිල්වේරා මහතා පැවසීය.
සුපර් ලීග් පාපන්දු තරගාවලිය නියෝජනය කළ රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපති රිෆාස් සාදික් මහතා සඳහන් කළේ කෝටි ගණන් වැය කරමින් පාපන්දු ක්‍රීඩා සමාජ නඩත්තු කරන නිලධාරීන්ට වඩා පාපන්දු සම්මේලනය ඡන්ද ලබා ගැනීමේ අරමුණින් පාපන්දු ලීග්වල ප්‍රධානීන්ට තැන දීම හේතුවෙන් පාපන්දු ක්‍රීඩාව කඩා වැටෙමින් පවතින බවයි. “අද කොහෙද පාපන්දු තියෙන්නේ. ක්ලබ් ඔර්නස්ලාව ගණන් ගන්නේ නෑ. පාපන්දු සම්මේලනය විදෙස් ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමට ගන්නවා කියන නිසා ක්ලබ්වල ක්‍රීඩකයෝ කලකිරීමට පත්වෙලා. ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන දරුවෙකුගේ බලාපොරොත්තුව ජාතික පිල නියෝජනය කිරීමයි. ඒ බලාපොරොත්තුවත් බිඳ වැටිලා. මාසයකට ලක්ෂ 12ක් විතර වැය කරලා ක්‍රීඩා සමාජයක් කරලා හිතට සතුටක් ඉතිරි වෙලා නෑ. මගේ හිටපු අන්තිම නයිජීරියානු ක්‍රීඩකයා යැව්වේ මෙයට මාස 2කට පමණ පෙර. ඒ වනතුරු තරගාවලියක් නැතිව වසර ගණනාවක් පඩි දුන්නා. සම්මේලනය ඡන්ද ගන්න ලීග් නිලධාරීන් ඔළුව උඩ තියාගෙන ඉන්නවා. ලීග්වලින් පාපන්දු ක්‍රීඩාවට මොනවද වෙලා තියෙන්නේ?” රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ප්‍රශ්න කළේය.