තාක්ෂණික හා අංකිත මාධ්‍යයන්ට ඔරොත්තු දෙමින් ඒවාහි විවිධත්වයන්ට අනුගත වෙමින් පවතින පුවත්පත කිසි දිනෙක මිය නොයන බවට කරුණු පෙන්වා දෙන පර්යේෂකයින් පවසන්නේ එහි තොරතුරුවලින් කෙරෙන යාවත්කාලීන මානව දැනුවත් කිරීම හා සාමාන්‍ය දැනුම වෙනත් කිසිදු මාධ්‍යයකින් සිදු නොවන බවයි.
අපි නව රජයක්, නව ජනාධිපතිවරයෙක්, වැනි අදහස්වලින් අනාගතය දැක ගන්න තරම් පසුගාමී වන්නෙමු. එසේ හෙයින් ලෝකය නොදකින, නොපෙනෙන අනාගතයකට ගෙන යා හැකි බවට ජනතාව අන්දන දේශපාලනික සමාජයක ලෝක දැක්ම ගැන මේ ලිපියෙන් අවධාරණය කෙරේ. තවද මී ළඟ පරපුර අවධි කිරීමක් ද අරමුණු කෙරේ.
නව පරපුර නිහඬය. එහෙත්, ඔවුන්ගේ තාක්ෂණික හා සමාජ දැක්ම වෙනස්ය. විවිධාකාරය. සෑම මාධ්‍යයක්ම ඉතා වේගවත් පෙරළියකට අනුගත වෙමින් පවතින කාල වකවානුවක් උදා වී ඇත්තේය.
අනාවැකි හෝ අනාගතය පිළිබඳව සම්පරීක්ෂණ හා විද්‍යාත්මක කරුණු පාදක දැක්මක් ඇති ආචාර්ය වෑන් පියර්සන් (Dr.Van Pearson) වරක් මෙසේ පවසා සිටී. ” 2050 වනවිට ලෝකයේ සන්නිවේදනයේ වෙනස පෙන්වා දෙන ආකාරයට අද තරුණ වියේ සිටින්නවුන්ගේ වයස 45 – 50 පමණ වන අතරම එහි ප්‍රතිවිපාක විඳින්නේ ද ඔවුන්මය. ඒ නිසා මේ පිළිබඳව හඳුනා ගෙන තිබීම වැදගත් බවත්ය. ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ කෘතිම බුද්ධිය A I ඔස්සේ කෙරෙන පර්යේෂණයන්ට අනුව මිනිසා ටෙලිපති ක්‍රමයට කඩින් කඩ එකිනෙකා සමඟ (රිලේ ක්‍රමයට) සිතුවිලි ඔස්සේ සන්නිවේදනය කර ගන්නා බවයි. ඒ සඳහා කිසියම් කරාඹුවක්, වැනි විදුලි ආභරණයක් ඊට යොදා ගන්නා බවයි. මිනිස් මොළය ක්‍රියාකරවීමට තාක්ෂණය සමත් වුවහොත් ස්වාභාවික මිනිස් මානසික ගනුදෙනුව කෙබඳු විය හැකිද? දැනීම්, හැඟීම් එකිනෙකා කෙසේ ගනුදෙනු කරනු ඇත්ද? ඒ පිළිබඳව දැක්වෙන ආකාරයටම කියවීමේදී කෙනෙකුට පැහැදිලි අවබෝධයක් ළඟා කරගත හැකි වෙයි. එනම්,
“Through a form of telepathy from thought recognition technology. Electric jewelry which can detect my thoughts may be able to communicate with someone else’s and relay my thoughts to them”
මේ අනාවැකි අපට බැහැර කළ නොහැක්කේ වර්තමානය වනවිට ලෝකයේ කෘත්‍රිම බුද්ධිය මඟින් මිනිස් කථනය හා සන්නිවේදනය සිතුවිලි ඔස්සේ කළ හැකි ක්රමයන්ට අවතීර්ණ වී තිබීම නිසයි. මේ පර්යේෂණ 70 දශකය වනවිට තරමක් නැවතී තිබුණ ද අද වනවිට ක්ෂණික තාක්ෂණික වෙනස්වීම්වලට ලෝකයම අවතීර්ණ වී සිටී. අනාගතයේ මිනිස් මොළයේ ප්‍රමාණය තාක්ෂණය විසින් තීරණය කරන අතර කුඩා මොළයක් සහිත ලොකු හිස්කබලක් ඇති මිනිසකු බිහි වී ඔහු මින් වසර ලක්ෂ ගණනක් වෙත පරිණාමය වන බව බොහෝ විද්‍යාඥයන් විසින් පවසා ඇත. ඒ අනුව ඔහු නියැන්ඩතාල් වැනි මානවයාගේ මෙන් රෝමවලින් යුත් මිනිසෙකු විය හැකි බව කියැවේ.
පුවත්පතේ අනුගත වීම
2050 වන විට මිනිස් ක්‍රියාකාරකම් පොදුවේ මෙන්ම පෞද්ගලික මට්ටමෙන් ද රොබෝවරුන්ගෙන් සිදු වනු ඇත. වර්තමානයේ බොහෝ රටවල මේ තත්ත්වය දැනටමත් දැක ගත හැකිය.
මිනිස් මොළය හා මිනිසා වෙනස් වෙද්දී සමාජ පරිණාමයේ සියලුම වෙනස්කම් අප දැන් තියාම හඳුනාගත යුතුව තිබේ. එහිදී මාධ්‍යයට මොකද වෙන්නේ යන කරුණ තුළ ඔවුන් 2050 වනවිට තාක්ෂණය විසින් මෙහෙයවන මාධ්‍ය යුගයකදී පුවත්පතේ ඒ අනුගත වීම දැනටමත් ආරම්භවී ඇතැයි පෙන්වා දෙයි. 2023 වසරෙන් ආරම්භ වූ ලෝකයේම පුවත්පත් දැන්වීම්වලින් ලත් ආදායම 70% සිට 30% දක්වා පහත වැටී ඇති බවත් එය අංකිත මංතීරුවට Digital Flat form නැතහොත් සමාජමාධ්‍ය Social Media flat form මංතීරුවට ගමන් කරමින් සිටින බව අමෙරිකාවේ පර්යේෂණ ආයතනයක් වන Pew Centre ආයතනයේ පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. එසේම මාර්ගගත මාධ්‍ය වෙත වේගවත් අනුගත වීමක් සිදු වෙමින් පවතින බව පෙන්වා දෙයි. දැනටමත් පුවත්පත් ක්‍රියාකාරීත්වයේදී කාර්යමණ්ඩලය පහත වැටීම හා සංස්කරණ වාර ගණන ද Print runs අඩු වී ඇත. වෙනදාට සංස්කරණ වාර 6කින් කළ මුද්‍රණවාර 1 දක්වා අඩු වී ඇත. ලෝකයේම මේ තත්ත්වය දැක ගත හැකි අතර ඇතැම් පුවත්පත් ආයතන වැසී යාම සිදු වේ. එහි කාර්යපටිපාටිය ද -Role- වෙනස් වී තිබේ. සිනමා පුවත්පත් 30% දක්වා පහත වැටී ඇත්තේ ලෝකයේම බොහෝ රටවලට පොදුවේය.
මේ තරගය නිසා අන්තර්ජාලයේ බලපෑම දැන්වීම්වල පැවැත්ම තීරණය කරන තීරකයා බවට පත්වී තිබේ. සන්නාමය නියාමනය කරන්නේ ද අන්තර්ජාලය වීමේදී පුවත්පතක ප්‍රමාණය වෙනස් වන්නේද මේ නිසාය. වෙළඳ හා වාණිජ්‍යය සඳහා වෙබ් අඩවි web sites හා මොබයිල් යෙදවුමක් Mobile App ඔස්සේ යැපීමකට ලක්වී ඇත. ස්මිත් Smith නැමැති අමෙරිකානු පර්යේෂකයෙක් මීළඟ 5 වසර තුළ පුවත්පත අනුගතවන කාරණා කීපයක් පෙන්වා දෙයි.
පරිසර හිතකාමී කඩදාසි
භූගෝලීය වශයෙන් රටවල පවත්නා පුවත්පත් ඒ ඒ රටවලට අනුව පැවැත්මේ ක්‍රමවෙත අනුගත වනු ඇත. පුවත්පත් වෙනුවෙන් භාවිතවන අමුද්‍රව්‍යවල නාස්තිය paper wastage වෙනුවට Alkaline Paper-(acid free) කඩදාසි භාවිතය හා ඒවාහි ප්‍රමාණය වෙනස්වනු ඇත. පරිසර හිතකාමී environment friendly කඩදාසි සඳහා එක ගසක් කැපිමේදී ගස් දෙකක් හෝ තුනක් වැවීමේ ක්‍රමවේදයක් දැනටමත් ස්ටැන්ෆර්ඩ්, යුරෝපය, එංගලන්තය, වැනි රටවල ආරම්භ කර ඇති අතර ඔහු පෙන්වා දෙන්නේ පුවත්පතට සිදු වූ ලොකුම විනාශය වන්නේ තරුණ පරපුර කියවීමෙන් බැහැර වීමත් පුවත්පත් කියවන්නේ 57%ක් වැඩිහිටියන් බවත්ය. එසේම ලෝකයේ පුවත්පතක් දැනට නැති එකම නගරය පීට්ස්බර්ග්ය. බිලියන 2.5ක් වැඩිහිටියන්ගෙන්ද මිලියන 600ක් අංකිත මාධ්‍ය වෙත යොමු වී ඇති බව තවදුරටත් පෙන්වා දෙයි. ඇතැම් පුවත්පත් අනාගතයේදී දැන්වීම් සඳහා පමණක් මුද්‍රණය වන බවත් බෙහෙවින් වෙනස්කම්වලට ඔරොත්තු දිය හැකි ලෙස වාණිජ කටයුතු කරගත යුතු බවත් පෙන්වා දෙයි.
පැවැත්ම සඳහා වෙනමම පුවත්පත් අඩවිවල Newspaper sites එකතුවත්, ඒජන්සි අඩවි Agency sites එකතුවත්, ටෙලිවිෂන් පුවත් ජාල අඩවිවල TV network news sites එකතුවත්, සාමුහික අඩවිවල aggregator sites එකතුවත් දේශපාලන අඩවිවල Political sites එකතුවත් අන් කිසිදාක නොවූ ලෙස එකට එක්වීමක් පුවත්පතේ පැවැත්ම සඳහා සකස් වෙමින් පවතින බව අප ද හඳුනාගත යුතුය.
තාක්ෂණික ග්‍රහණය
මෙහිදී සිදු වෙමින් පවතින වෙනස්කම් අතර ව්‍යුහාත්මක හා අන්තර්ගතයේ පැහැදිලි වෙනසකට පුවත්පත පත් වෙද්දී එහි යහපත් හා අයහපත් පැති දෙකක් අතර එය ගමන් කරන බව පෙනේ. පඨිතය text, දෘශ්‍යමය අන්තර්ගතය visual content, සාහිත්‍යමය literary, විනෝදය entertainment දැන්වීම් සඳහා වෙනමම අනුගත වීමකට යොමු වෙමින් පවතී.
ඕනෑම මාධ්‍යයකට හිමි අනන්‍යතා හෝ ඒවාටම ආවේණික ශඛ්‍යතා ලක්ෂණ මේ මාධ්‍යවල පැවැත්ම තීරණය කරයි. කුමන තාක්ෂණික ග්‍රහණයකට ලක් වුවද ඒවා පැවැත්ම තීරණය කරන්නේ මේ අනන්‍යතාවයි. පුවත්පතක පුවත් මූලාශ්‍රයේ news source පවතින මේ ලක්ෂණය පුවත්පත් මාධ්‍ය පැවැත්ම සඳහා දැඩිව ග්‍රහණය කරගෙන තිබීම විශාල වාසියක් බව බව-Published Audience measurement company – පර්යේෂණ ආයතනය පෙන්වා දේ. කෙසේ නමුත් තාක්ෂණික හා අංකිත මාධ්‍යයන්ට ඔරොත්තු දෙමින් ඒවාහි විවිධත්වයන්ට අනුගත වෙමින් පවතින පුවත්පත කිසි දිනෙක මිය නොයන බවට කරුණු පෙන්වා දෙන පර්යේෂකයින් පවසන්නේ එහි තොරතුරුවලින් කෙරෙන යාවත්කාලීන මානව දැනුවත් කිරීම හා සාමාන්‍ය දැනුම වෙනත් කිසිදු මාධ්‍යයකින් සිදු නොවන බවයි. එසේම භාෂාව, වාග්මාලාව ඔස්සේ කෙරෙන කියවීම, සිද්ධි අධ්‍යයනය, ලෝකදෘෂ්ටිය වගා කිරීම වෙනත් කිසිදු මාධ්‍යයකින් සිදු නොවන බව පෙන්වා දෙයි. එසේම මහා චින්තකයින්, දාර්ශනිකයින් ජනතාව අතරට රැගෙන ඒම හා ජනමතය සකස් කිරීම සාර්ථකව කෙරෙන්නේ ද පුවත්පත ඔස්සේය. වැදගත් ප්රශ්නවලදී ජනතාව දැනුවත් කිරීමත් රටේ ආර්ථිකය හා ක්‍රීඩා තොරතුරු වැනි කරුණුවලදී පුවත්පතේ අනන්‍යතාව එය තහවුරු කරයි. විශේෂයෙන් ආසියාතික රටවල පවතින සංස්කෘතික ලක්ෂණ හා වටිනාකම් අනුව පුවත්පතට ඇති බැඳීම තවත් කාලයක් පවතිනු ඇත.
කියවීම හා බැඳි අන්තර් සන්නිවේදනය සංජානන කියාවලියේදී පුද්ගලාන්තර වන අතර එහිදීම අන්තර් පුද්ගල සන්නිවේදනයකට හැරේ. පුවත්පත්හි සිටින පුද්ගල චරිත හා ගනුදෙනුවක් කෙරෙන අතර ඔවුන්ගේ විශේෂත්වය ඔස්සේ එල්බ ගත් මත විචාරයකට ද ලක් වේ. මේ තත්ත්වය ටෙලිපති ක්‍රමයට පටහැනි වන්නේ එහිදී සීමිත වපසරියක සන්නිවේදනයක් පමණක් සිදුවන අතර එය බොහෝවිට දැනට කෙරෙන ෆේස්බුක් ගනුදෙනු වැනි වූවක් විය හැකි බැවිනි.
අන්තර්ජාල මාධ්‍යය
ජනගහනය හා රටේ ප්‍රමාණය අනුව චීනය හා ඉන්දියාව තවමත් පුවත්පත් අලෙවියේ අඩුවීම තුළ වුව මුද්‍රණයේ අඩුවීම තුළ වුව ප්‍රමාණාත්මක අලෙවියක් ඇති රටවල් වේ. අමෙරිකාව ද අංකිත හා අන්තර්ජාල මාධ්‍යයන්ට බෙහෙවින් නතු වූ රටවල් අතර ප්‍රධාන රටක් වේ.
අප රටේ ද පුවත්පත දැන්වීම් හා පාරම්පරික ගනුදෙනු තුළ මිනිසාට බෙහෙවින් සමීප මාධ්‍යයක් වුව තරුණ පරපුර පුවත්පත කියවන්නේ ද අන්තර්ජාලය ඔස්සේ වීම දැක ගත හැකිය. මේ අන්තර්යැපීම තවත් බොහෝ කලක් පැවැතිය ද පුවත්පත, ගුවන්විදුලිය, සිනමාව යන සියල්ල රුපවාහිනිය ද සමඟ අන්තර් ගනුදෙනුව අපට ස්ට්රීමින්ස් streaming ලෙස ඒකකේන්ද්‍රීය වී ඇති බව අත්දැකීමෙන් පෙනේ. බොහෝ රටවල ඒ ඒ මාධ්‍ය පවතින්නේ මිනිස් පරිභෝජනයට අනුවය. අද වැඩිහිටි පරපුරට සාපේක්ෂකව තවත් දශක තුනක් අප පුවත්පත වෙත රැඳී සිටිය ද ඉන් පසු ඉතාම කුඩා ප්‍රමාණයක් පුවත්පත් මුද්‍රණය විය හැක්කේ ඉල්ලා සිටින මිනිසුන්ට අනුවය. ඉල්ලා සිටින ප්‍රදේශයට අනුවය. ඉල්ලා සිටින අන්තර්ගතයට හෝ වයස් කාණ්ඩයට අනුව විය හැකිය.
මහාචාර්ය අජන්තා හපුආරච්චි