ජනාධිපති ඡන්දය ඔක්තෝබර් 19 දිනට පෙර පැවැත්විය යුතුය. ඒ සඳහා මැතිවරණ කොමිසම සූදානම් බව පවසන්නේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතාය.
ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහකයාගේ නම් සඳහන් ගැසට් පත්‍රය ඔක්තෝබර් 15 හෝ 17 නිකුත් වන බව කියන්නේ සියයට තුනේ වෘත්තීය සමිති වසන්තය. ඒ ගැසට්ටුවේ නම් සඳහන් වන ජයග්‍රාහකයා ස්ථිරවම තමන්ගේ පක්ෂයේ අහවලා බව කියන්නේ අනුගාමිකයන්ගේ අත්පොළසන් හඬ මැදය.
“අනුගාමිකයන්” කියන්නේ අනුගමනය කරන්නන්ටය. වෙනත් විදියකට කියනවා නම් “ෆලෝවර්ස්ලා”ය. මේ ෆලෝවර්ස්ලා තමන් කැමති පුද්ගලයන් ෆලෝ කරති. මේ සමහර ෆලෝවර්ස්ලා තමන්ගේ හීරෝස්ලා – ලේඩි හීරෝස්ලා හීනෙන් පවා දකිති. රහසින් පෙම් කරති. ඔවුන් විශ්වාස කරති. ඔවුන්ගේ විලාසිතා අනුගමනය කරති. අඳිති පලඳිති. තමන්ගේ හීරෝ – ලේඩි හීරෝ නිසා පිස්සු වැටුණු පිස්සු හැදුණු ෆලෝවර්ස්ලා ද සිටිති.
ඉස්සර මෙහෙම ෆලෝවර්ස්ලා හිටියේ නළුවන්ට නිළියන්ට ගායක ගායිකාවන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැනි සුවිශේෂී පුද්ගලයන්ටය. ඒ ෆලෝවර්ස්ලාට කියන්නේ “ෆෑන්ස්” ලා කියලාය.
තමන්ගේ හීරෝ මිය ගිය විට ගිනි තියාගෙන මැරෙන ෆෑන්ස්ලා බහුල ඉන්දියාවේය. ජනප්‍රිය නළු විජය කුමාරතුංගට ජවිපෙ වෙඩි තබා මරා දැමුවාට පසු පුද්ගලයෙකු තම සිරුරට ගිනි තබාගෙන මිය ගියේ තුණ්ඩු කෑල්ලෙන් ලයිට් නිවුණ භීෂණ සමයේදීය.
දැන් මෙහෙම ෆෑන්ස්ලා සිටින තවත් සෙට් එකක් සිටිති. ඔවුන්ගෙන් බොහොමයක් කිසිදු වැදගැම්මකට නැති අපතයන්ය. හැබැයි ඔවුන් සයිබර් අවකාශයේ පොරවල්ය. ඒ අයට කියන්නේ “ඉන්ෆ්ලුවන්ස්ලා” කියලාය. මේ අයගෙන් බොහොමයක් ඉන්ෆ්ලුවන්සා උණටත් වඩා භයානකය. මොකක් හෝ මාර්ගයෙන් ලොකු ෆෑන් බේස් එකක් හදාගත්තොත් කල්ල මරේය. අරගල කාලේ රටින් ආ සල්ලිවලින් එකවුන්ට් පිරී ඉතිරී ගියේ මේ අයගේය. රැට්ටා, බැට්ටා, සුදා, නාකි රැවුලා පමණක් නොව චීවරධාරීන් ද ඒ අතර සිටිය වග හොයා ගත්තේ සී. අයි. ඩියෙන් එකවුන්ට් චෙක් කළ පසුවය.
එක් දේශපාලන පක්ෂයක් ගමින් ගමට ගොස් සාමාජිකයන් බඳවා ගන්නේ නැත. පච ද මඩ ද අතේ රෝල් ද සයිබර් අවකාශයේ මුදාහරිමින් ෆෑන් බේස් ගොඩනැඟීම ඔවුන්ගේ ක්‍රමයයි. මේ දේශපාලන පක්ෂයට සාමාජිකයන් නැත. ඉන්නේ ෆෑන්ස්ලාය. දේශපාලනය කරන්නේ මෙන්න මේ ෆෑන්ස්ලා හරහාය. මේ “ෆෑන්ස්” ලාගේ මොළ සේදූ පසු ඔවුන් “ෆලෝවර්ස්ලා” වෙති. ෆලෝවර්ස්ලා පසුව අනුගාමිකයෝ වෙති. ප්‍රතිපත්ති පිළිගෙන එකතුවන සාමාජිකයන් හරහා ගොඩනඟන දේශපාලන ව්‍යාපාරයක් වෙනුවට වෛරය, ක්‍රෝධය, මුසාව හරහා ගොඩනඟන ෆෑන්බේස් දේශපාලනය භයානකය. අතිශයින්ම භයානකය.
බුදුන්ගේ කල බුදුන්ට ගල් පෙරළූ දෙව්දත්ටත් ෆලෝවර්ස්ලා සිටියහ. ඒ අතර අජාසත්ත මහරජ නම්බර් වන්ය. බුදුන් මරා බුදුවන්නට පෙරුම් පිරු දෙව්දත්තර, අජාසත්ත තම පියා මැර වූ පිතෘ ඝාතකයෙක් බවට පත් කරන්නේ රජාගේ මොළය සේදීමෙනි. ඊළාම් රාජ්‍යයක බලාපොරොත්තුව ඉදිරියේ සිංහලයන් පමණක් නොව ඉන්දියාවේ රජීව් ගාන්ධි ද මරන්නට මිනිස් බෝම්බ නිර්මාණය කරන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. ඒ තම අනුගාමිකයන්ගේ මොළ සෝදලාය. ඒ ඉස්සරය. දැන් මොළ හෝදන ලොන්ඩරිය හැමවිටම හැම කෙනාගේම අතේය. ඒ ස්මාර්ට් ෆෝන් එකය.
ආගමක් විකෘති කර ස්වර්ගයත්, කන්‍යාවියන්ද පෙන්වූ සහරාන් ධනවත් පවුල්වල දැන උගත් තරුණයන් මරාගෙන මැරෙන්නට පෙලඹවූයේ ද ඔවුන්ගේ මොළ හෝදලාය.
ඊයේ පෙරේදා බුදු දහම විකෘති කළ හාදයෙකු සිය දිවි නසා ගන්නේ ෂෝට් කට් එකකින් නිවන් දකින්නටය. මිනිය වැළලූ දාම බිරිඳත් දරුවෝත් පසුව අනුගාමික ජොඩුවකුත් වළපල්ලට යන්නේ එකම වර්ගයක වහ කාලාය.
මෙහෙම පොරක් කලකට කලින් ජපානයේ ද සිටියේය. ඔහු නමින් සෝකෝ අසහාරාය. මිනිහා කිව්වේ මිනිහත් බුදුවෙලා කියලාය. ආර්ටි ෆිෂල් ලෝක විනාශයක් කරන්නට අනුගාමිකයන් ලවා උමං දුම්රිය පොළවල්වල විෂ බෝම්බ පුපුරුවා අනුගාමිකයන් සමඟම සිරගත විය. තාමත් හිරේ ද නැතිනම් හිරේදීම මැරුණා ද මතකයක් නැත.
මේ හැමෝම තමන්ගේ අරමුණු වෙනුවෙන් අනුගාමිකයන් යොමු කරන්නේ විනාශයටය. කට උල් කරමින්, ඇස් නටවමින්, බොරුව ඇත්ත කරමින් අනුගාමිකයන්ගේ මොළ හෝදන්නට මොවුන් දක්ෂය. මේ අතර, අලුකුත්තේරු බෝධිසතා ලීමෝසින් කාර් එකෙන් කැලණියට වඩින්නේ හරියටම ජනවාරි පළමුවෙනිදාය. චීවරධාරී ස්ත්‍රියක් ද වලිප්පුව හැදුණා සේ දඟලන ඇන්ටි කෙනකු ද තවත් අය ද මේ කොණ්ඩේ බැඳපු හාදයා පිළිගන්නේ පසඟ පිහිටුවා වැඳ සාදුකාර දීලාය. කොහොම ද මොළ හේදිල්ලේ තරම?
කොහොම නමුත් බෝධිසතා බන්ධනාගාර බස් රථයෙන් මානසික රෝහලට කුදලගෙන යද්දී උදාන වාක්‍යයක්ද දේශනා කරන්නට අමතක නොකළේය.
“තමන්ගේ අනුගාමිකයන් ලක්ෂ තුනක් සිටින බවත් ඒ ලක්ෂ තුනම සටනට කැඳවන බව” පැවසීම බන්ධනාගාර බස් රියෙන් ජනේලයෙන් බෙල්ල දා මාධ්‍යයට පොර ටෝක් දුන් බෝධිසතාගේ උදාන වාක්‍යය විය.
මේ බෝධිසතාගේ අනුගාමික සංඛ්‍යාවත් සියයට තුනේ බලවේගයේ ඡන්ද සංඛ්‍යාවත් අතර වෙනස ලක්ෂ එකහමාරකටත් වඩා අඩුය. සියයට තුනේ ගාන හරියටම කියනවානම් හාරලක්ෂ හතළිස් පන්දහස් නවසිය පනස් අටකි. ඒ පහුගිය මහ ඡන්දෙදී ගත්ත ගාණය. සමහර විටෙක මෙය ටිකක් වැඩි වෙලා වෙන්නට පුළුවන. රඟන රැඟිල්ලට ගාන ඩබල් වුණත් ලක්ෂ දහයකට අඩුය. ට්‍රිබල් වුණත් ලක්ෂ පහළොවක් වත් නැත. පස් ගුණයකින් වැඩි උණත් ගණන විසි දෙලක්ෂ පනස් දාහටත් ටිකක් අඩුය. මුළු රටේම දහ අටට වැඩි ගැහැනු පිරිමි ලක්ෂ එකසිය හැට හතරක් ඡන්ද පොතට නම් ඇතුළත් කරගෙනය.
ජනාධිපති වෙන්නට වලංගු ඡන්දයෙන් සියයට පනහකට වඩා ගත යුතුය. අගමැති වෙන්නට නම් ආසන එකසිය දහතුනක් ගත යුතුය. රිමාන්ඩ් වුණු බෝධිසතා බුදු වුවත් සියයට තුනට මේ ඉලක්කය ළඟටවත් එන්නට බැරිය. සංඛ්‍යා ලේඛන, දත්ත ප්‍රස්තාර පෙන්නා කියුවත් යථාර්ථය පිළිගන්නට සියයට තුන සූදානම් නැත. ඔවුන් කියන්නේ තමන්ගේ එකා ජනාධිපති වෙනවාමයි කියාය. සියයට තුනේ මොළ හෝදන්නට ඇත්තේ නිකන්ම නොව සබන්ද ගා බව හිතෙන්නේ එතකොටය. හරියටම තව පෝය හතකින් පෙට්ටියට වැටුණු ඡන්ද ගැනලා ගාණ කියන කොට මොළ හෝදගත්ත සියයට තුනේ මල්ලිලා මොන පිස්සුවක් කෙළීවි ද දන්නේ නැත.
අපි ඒ ගැන පසුව කතා කරමු !
මෙහෙම “සුගීගේ සටහන” ලිව්වේ හඬන්න, වැලපෙන්න මෙන්ම ළාමකව සිනාසෙන්නට ද නොව හොඳට හිතන්නටය.
සැමටම චිරං ජයතු!!!
මම, සුගත් හේවාපතිරණ