පොල් මලක් ආශ්‍රිතව පටක රෝපණ තාක්ෂණය යොදා ගනිමින් ලෝකයේ පළමු වරට පොල් පැළ සැකසීම පිළිබඳ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ පර්යේෂණ සාර්ථක වී ඇත. පර්යේෂණ නළ තුළ පොල් මලක Unopened Female Flower ආශ්‍රිතව සියුම් කොටසක් යොදා ගැනීම මඟින් නිපදවා ඇති මෙම පොල් පැළ සෑම අතින්ම මවු ශාකයට සමාන වන බව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
මෙම පොල් පැළවල රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ද ඉහළ මට්ටමේ වන බව එම ආයතනය සඳහන් කරයි.
ලෝකයේ පොල් වගා කරන බොහෝ රටවල් පටක රෝපණ තාක්ෂණය යොදා ගනිමින් පොල් පැළ වගා කිරීමට කටයුතු යෙදුවත් ඔවුන් යොදා ගනු ලබන්නේ පොල් මදය ආශ්‍රිතව ඇති කොටස්ය. නමුත් මෙතෙක් ලෝකයේ කිසිදු රටක් පොල් මලෙහි Unopened Female Flower ආශ්‍රිතව කොටස් යොදා ගනිමින් පොල් පැළ නිර්මාණය කර නැත. ඒ අනුව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ ආචාර්ය සනාතනී රණසිංහ, අංශ ප්‍රධාන ආචාර්ය විජිතා විදානාරච්චි ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් විසින් එම රසායනාගාර ආශ්‍රිතව සිදු කරන ලද Clonal Plant පටක රෝපණ ක්‍රමය මඟින් මෙසේ පොල් පැළ නිපදවා ගැනීම ඉතාමත් සාර්ථකව ඉටුකර තිබේ. මෙසේ නළ තුළ නිෂ්පාදනය කළ පොල් පැළ නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට පසුගියදා ගොස් තිබිණි. පර්යේෂණ නළ තුළ පොල් මලක සියුම් කොටසක් යොදා ගැනීම මඟින් නිපදවා ඇති පොල් පැළ අමාත්‍යවරයා විසින් මෙහිදී නිරීක්ෂණය කරනු ලැබීය.
සාම්ප්‍රදායික පොල් වගා ක්‍රමය තුළ පොල් පැළ සකසා ගැනීම සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වුවත් පර්යේෂණාගාරයේ අඟල් හයක් පමණ උස වීදුරු බටයක් තුළ සාර්ථකව පොල් පැළ වගා කර තිබූ අයුරු ඇමැතිවරයාට නිරීක්ෂණය විය.
මෙහිදී එම නිලධාරින් සමඟ සාකච්ඡා කළ ඇමැතිවරයා උපදෙස් ලබා දුන්නේ මෙරට තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින බැවින් තැඹිලි පැළ නිපදවා ගැනීම සඳහා මෙම නව තාක්ෂණය භාවිත කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසයි. ලුණුවිල පොල් පර්යේෂණායතනය විසින් මේ වන විටත් මෙම නව තාක්ෂණය යොදා ගනිමින් තැඹිලි පැළ නිර්මාණය කිරීම ද ආරම්භ කර ඇති බව මෙහිදී ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය ඇමැතිවරයා හමුවේ පැවසුවාය. මෙම ක්‍රමය යොදා ගනිමින් හැකි තරම් පොල් හා තැඹිලි පැළ නිපදවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ලබා දීමට පියවර ගන්නා බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මෙම නව තාක්ෂණය හඳුන්වා දීම මඟින් ශ්‍රී ලංකාව ලොව අනිත් රටවල්වලට වඩා ඉදිරියෙන් සිටින බව පෙන්වීමට කටයුතු කළ සියලු විද්‍යාඥයින්ට ඇමැති අමරවීර මහතා සිය කෘතඥතාවයද මේ අවස්ථාවේදී පළ කළේය.
බුද්ධිකා ඉඹුලාන