Home » සමාජ මාධ්‍ය මඟින් ගිය වසරේ නිරුවත් ඡායාරූප ලක්ෂයකට වඩා හුවමාරු වෙලා -මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්

සමාජ මාධ්‍ය මඟින් ගිය වසරේ නිරුවත් ඡායාරූප ලක්ෂයකට වඩා හුවමාරු වෙලා -මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්

by sachintha
January 24, 2024 1:48 am 0 comment

සමාජ මාධ්‍ය මඟින් පසුගිය 2023 වසරේදී පමණක් නිරුවත් ඡායාරූප ලක්ෂයකට වඩා සංසරණය කර ඇති බවත් අන්තර්ජාල වැරදි සම්බන්ධයෙන් පසුගිය වසරේ පමණක් පැමිණිලි 8000ක් පමණ ලැබී ඇති බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.

පාර්ලිමේන්තු විවාදය අරඹමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය.

මෙම පැමිණිලි අතර ලිංගික හිරිහැර පැමිණිලි 668ක්, නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීමේ පැමිණිලි 506ක්, අපහාස කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 698ක්, සයිබර් පැමිණිලි 1961ක්, අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කිරීමේ පැමිණිලි 34ක්, ජාතික ආරක්ෂාවට බලපානු ලබන සිද්ධීන්ට අදාළව පැමිණිලි 88ක්, පරිගණක දත්ත සොරකම් පැමිණිලි 547ක් සහ මුදල් වංචා සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 457ක් තිබෙනවා. මෙවැනි වතාවරණයක් තුළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගෙන එනු ලබන්නේ මාධ්‍ය පාලනයකට නොව මේ රටේ දරුවන්, කාන්තාවන් මෙවැනි දේවලින් බේරා ගැනීම සඳහායි.

සමාජ මාධ්‍ය භාවිත කර වංචා කිරීම, අන් අයකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම, කැරැල්ලක් ඇති වන අයුරින් අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපචාර, කාන්තා හිංසනය, ආගමික සහජීවනයට බාධා කිරීම, අසත්‍ය ප්‍රචාර සිදු කිරීම මඟින් ජාතික ආරක්ෂාවට නීතිය හා සාමයට ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම යන මූලික කරුණු නවයක් සම්බන්ධයෙන් මෙම පනත් කෙටුම්පත මඟින් ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් යෝජනාද සමඟ නව පනත සම්මත කර සිවිල් සංවිධාන නියෝජිතයන් විවිධ සිවිල් සංවිධාන දුන් අලුත් චෝදනා ද ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ගැසට් කරනවා.

අපි මේ සඳහා කොමිසමක් පත් කරනවා. එහි සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇති. පක්ෂ විපක්ෂ, තොරතුරු තාක්ෂණය, නීතිය ආදී විවිධ ක්ෂේත්‍රවලට අදාළ පුද්ගලයන් පස්‌ දෙනෙක් මෙලෙස පත් කරනවා. එම කොමිසම අනුවයි පැමිණිලි විභාග කිරීම සිදු වන්නේ. ඒවාට එරෙහිව කටයුතු කිරීම සිදු වන්නේ. ළමා අපචාර සහ කාන්තා හිංසනය ගැන මෙම පනතින් විශේෂයෙන් අවධානය යොමු වෙනවා. මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මාසයේදී මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. ඉන් පසුව නොයෙකුත් ආයතන, ජාත්‍යන්තර ආයතන පවා අපි සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කතා කරලා මාස තුනක් පුරා සාකච්ඡා අවසන් කර අපි එකඟතාවකට ආවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක්ද ඉදිරිපත් කර තිබුණා. ඒවා ගැන සලකා බලා සංශෝධන කිහිපයක් සහිතව අනුමත කර තිබුණා. ඒ අනුව අපි ඒ සංශෝධන සහ තවත් අවශ්‍යනම් සංශෝධන ඉදිරිපත් කරන්නටත් අපි එකඟ වුණා. මේ සම්බන්ධයෙන් අපි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වන සංවිධාන සමඟත් සාකච්ඡා කළා. කතා කරලා අපි කමිටුවක් වශයෙන් මේක සාකච්ඡා කළා මුළු පනතම අකුරින් අකුර. මේ වෙනුවෙන් කළ හැකි දේවල් පවා අපි කතා කළා. ඒ සියලු දෙනාටම අපි කිවුවේ සාකච්ඡා කළ පාර්ශ්වවලට අපට එවන්න ඒ අයගේ අදහස් හා යෝජනා, ඒ යෝජනා මේකට ඇතුළු කරන්න අපි අපේක්ෂා කරනවා කියලා. ඒ වගේම මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා හා පොලිසියේ නීති අංශය භාර ප්‍රධානීන් සිංගප්පූරුවට ගිහින්, සියලු දෙනා සමඟ දවස් තුනක සිංගප්පූරුවේදී සාකච්ඡාවක් සිදු කළා. දෙසැම්බර් 31 වැනි දා විට යෝජනා ඉදිරිපත් කරන්නට බැරි වුණා. ඒ අනුව ජනවාරි 08 වැනි දා වන විට සියලු දේ ඉදිරිපත් කර තිබුණා . ඉන් පසුව 12 වැනි දා මගේ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් සිදු කළා. අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිසියේ නීති අංශ ප්‍රධානීන්, අනිත් නිලධාරින් ද සමඟ. ඒ සාකච්ඡාවටත් සිංගප්පූරු නියෝජිතයෙක් සහභාගි වුණා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT