Saturday, May 3, 2025
Home » සජබ උද්ඝෝෂණයට අරක්කු-බත් පැකට් දෙන්න කෝටි දෙකහමාරක්

සජබ උද්ඝෝෂණයට අරක්කු-බත් පැකට් දෙන්න කෝටි දෙකහමාරක්

by sachintha
January 24, 2024 1:31 am 0 comment

කොන්ත්‍රාත්තුව පක්ෂයේ ළඟම හිතවතුන් දෙදෙනකුට පවරලා

සමගි ජන බලවේගය ඉදිරි දිනවල පැවැත්වීමට සංවිධානය කර තිබෙන උද්ඝෝෂණ වෙනුවෙන් ජනතාව කොළඹට ගෙන ඒමට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වෙන් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. බත් පැකට් සහ අරක්කු දී ජනතාව උද්ඝෝෂණවලට ගෙන්වන මෙම ජාවාරම පක්ෂ නායකයාගේ ළඟම හිතවතකුට හා මෑතකදී මන්ත්‍රීකමක් ගත් ව්‍යාපාරිකයකුට පවරා ඇතැයි පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. එලෙස උද්ඝෝෂණවලට එන ජනතාවට පුද පූජා ලබාදීමේ කොන්ත්‍රාත්තුව සමගි ජන බලවේගයේ යහමින් මුදල් ගැවසෙන දෙදෙනකුට පවරා ඇතැයි කී රංගේ බණ්ඩාර මහතා මෑත දිනකදී කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයකට සහභාගි වන අයට පුද පඬුරු ලබාදීම සඳහා ඔවුන් දෙදෙනාගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ඉල්ලා ඇති බව ද සඳහන් කළේය.

මෙම දෙදෙනාගෙන් අවශ්‍ය පහසුකම් ලබා ගන්නා ලෙස දැනුම් දෙමින් පක්ෂ මහලේකම්ගේ නමින් සියලු සංවිධායකවරුන්ට වට්ස්ඇප් පණිවිඩයක් යවා ඇතැයි ද ඔහු කියා සිටියේය. මෙම ධනපතියන්ගෙන් එක් අයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි දහයක් දී ඔහුගේ අසුනේ ඉඳගැනීම සම්බන්ධයෙන් කුප්‍රකටව සිටින්නකු බවද රංගේ බණ්ඩාර මහතා කීය. මෙලෙස දොළපිදේනි දී ජනතාව විරෝධතාවලට සහභාගි කර ගැනීම සැබෑ ජනතා හඬ යටපත් කිරීමක් මෙන්ම ජනතාවට කරන නිග්‍රහයක් යැයි රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. බත් පැකැට්ටුවට අරක්කු බාගයට ජනතාව පාරට කැන්දා ගන්නට උත්සාහ කරන තරමට සමගි ජන බලවේගය බංකොලොත් වීම කනගාටුවට කරුණක් බව ද එජාප මහලේකම්වරයා කීය. රජය අපහසුතාවට පත් කිරීම සඳහා කරන මෙවැනි අමනෝඥ වැඩවලින් සිදුවන්නේ ජනතා මුදල් තවත් නිරපරාදේ විනාශ වීම බව රංගේ බණ්ඩාර මහතා පැවසීය. අදාළ මුදල් ඉල්ලීමේ පණිවිඩය සමගි ජන බලවේගය වට්ස්ඇප් මඟින් ප්‍රචාරය කර ඇතැයි කී රංගේ බණ්ඩාර මහතා මෙවැනි පුහු වැඩ නොකර ජනතා ප්‍රශ්නවලට ඇත්ත විසඳුම් සෙවීමට කැපවන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද කීය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් එජාප මහලේකම්වරයා මේ බව පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT