කලින් දවසේ ඇවිත් පරවියන්ව බලා ගිහින්
CCTVවලින් ස්කූටියේ ආ හොරු හඳුනාගෙන
හොරාගේ ගෙදර ඉතිරි වූ පරෙවියන් අයිතිකරු හඳුනා ගනී
කඹුරුගමුව, කොටවිල, පින්නගොඩවත්ත අංක 27 දරන ස්ථානයේ පදිංචි පිඩැලි කපා සපයන පුද්ගලික ආයතනයක සේවයේ නියුතු සේරසිංහ පතිරණගේ තරිදු සම්පත් නමැති 20 හැවිරිදි තරුණයා අමතර ආදායමක් ලබා ගැනීම උදෙසා සුරතල් සතුන් ලෙස විකිණීමට කූඩු දෙකක ලක්ෂ එකහමාරක් පමණ වටිනා පරෙවියන් 55ක් ඇති දැඩි කර ඇති අතර, පෙරේදා (22) පෙරවරුවේ කූඩුව පරීක්ෂා කරන විට කූඩුවේ පරෙවියන් දෙදෙනකු පමණක් ඉතිරි වෙද්දී අනෙක් පරෙවියන් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
මාතර පොලිස් වසමට අයත් කඹුරුගමුව, පුවක්වත්ත ප්‍රදේශයේ අධික ලෙසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇතැයි සිතිය හැකි තරුණයන් දෙදෙනකු සිද්ධිය අනාවරණයට වූ දිනට පෙර දින පස්වරුවේදී පරෙවියන් අලෙවි කරනවාද යන්න විමසමින් පැමිණ කූඩු නිරීක්ෂණය කර ඇත. මේ සම්බන්ධයෙන් සැක සිතූ පරෙවි අයිතිකරු අවට ගෙවල් කිහිපයක සවිකර තිබූ CCTV කැමරා පරීක්ෂා කිරීමේදී පසුගිය 21 වැනිදා අලුයම එකයි තිහට පමණ විදුලි පහන් නිවාගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් දෙදෙනකු නිවෙසට ඇතුළු වී නැවත පිටව යනු නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව ඔහු මේ පිළිබඳව කොටවිල පොලිසියේ අපරාධ අංශය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව අදාළ සැකකරුවන්ගේ නිවෙස් වෙත පැමිණිලිකරු පොලිසිය සමඟ පැමිණි අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා පලාගොස් ඇත. එම නිවෙස් පරීක්ෂා කිරීමේදී එක් නිවෙසක කූඩුවක රඳවා සිටි පරෙවියන් දෙදෙනකු එම පෙරවියන්ගේ පාදවල රඳවා තිබූ විශේෂ මුදුවක් මඟින් ඒ, තමාගේ නැති වූ පෙරවියන්ගෙන් දෙදෙනකු බව අයිතිකරු හඳුනාගෙන ඇත. එම පෙරවියන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇති අතර, ඉතිරි පරෙවියන් සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කොටවිල පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති අනුර හේවාපතිරණ මහතා සහ පො.සැ (59356)නීල් බුද්ධික යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල සමූහ