මෙරට ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීමේ අරමුණින් ආරම්භ කරන ‘ධීවර සුව සවිය’ වැඩසටහනේ පළමු අදියර අද (26) වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායෙන් ආරම්භ කරන බව ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති පෙරේදා (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය:
“ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් ලෙස ධීවර කටයුතු සඳහා මුහුදට ගොස් සිටියදී රෝගාතුර වීම හඳුනාගෙන තිබෙනවා. ධීවරයන් හදිසියේ රෝගාතුර වූ විට ඔවුන් සඳහා ප්‍රථමධාර ප්‍රතිකාර දෙන්නේ කෙසේද යන්න පසුගිය කාලය පුරා අත්දුටු ගැටලුවක්ව පැවතුණා. ඇතැම් රෝගාතුර වූ ධීවරයෙන් සඳහා ප්‍රතිකාර දීමට රැකියාව සිදු කළ ප්‍රදේශය ආසන්නයේ පිහිටි විදේශ රටවල සහාය ගැනීමටද සිදු වුණා. එමෙන්ම ඇතැම් රෝගාතුර වූ ධීවරයන් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වන නිසා ඒ සඳහාද අතිවිශාල මුදලක් වැය කිරීමට සිදු වනවා. ඒ වගේම මුහුදේදී රෝගාතුර වූ ධීවරයන් මියයෑම ඉතා ඛේදනීය තත්ත්වයක් බවද කිව යුතුයි. ධීවරයකු යාත්‍රාව තුළ මියගිය අවස්ථාවලදී මෙන්ම රෝගාතුර වූ අවස්ථාවලදී යාත්‍රාවට ධීවර කටයුතු සිදු කිරීමට අවකාශ ලැබෙන්නේ නෑ. ඒ කටයුතු නවතා ඔවුන්ට නැවත බිමට ඒමට සිදු වනවා. එනිසාම මත්ස්‍ය අස්වැන්නද අහිමිව දැඩි ආර්ථික අලාභයකට මුහුණ දීමට ද ඔවුන්ට සිදුවෙනවා. එම බලපෑම ධීවරයන්ට පමණක් නොව, අපනයන ආදායමට මෙන්ම දේශිය මත්ස්‍ය පරිභෝජනයටද විශාල බලපෑමක් එල්ල කරනවා.
“තවද ධීවරයකු මිය ගිය විට එම ධීවර පවුලේ ආදායම් මාර්ගය සම්පූර්ණයෙන්ම ඇනහිටිනවා; පවුල්වල පිරිස් ද අසරණ තත්ත්වයට පත් වෙනවා. මේ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය දීර්ඝ කාලයක සිටම පැවතුණා. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ධීවර ප්‍රජාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන සුවිශාලතම වැඩසටහනක් ලෙස ‘ධීවර සුව සවිය’ හඳුන්වන්න පුළුවන්. ඒ වැඩසටහනේ පළමු අදියර ජනවාරි 26 දා වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායේදී ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා.