Tuesday, May 13, 2025
Home » අපේ රසකැවිලි ලොව පුරා යැවීමට රාජ්‍ය අනුග්‍රහය සලසා දෙනවා….

අපේ රසකැවිලි ලොව පුරා යැවීමට රාජ්‍ය අනුග්‍රහය සලසා දෙනවා….

by sachintha
January 26, 2024 1:10 am 0 comment

ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වැනි මහා සභාව අමතමින් ජනපති කියයි


රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. කොකෝවා ඇතුළු භෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බවත්, තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය ඇතුළු ක්ෂේත්‍ර නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙන බවත්, පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 8ක පමණ මුදලක් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පෙරේදා (24) පස්වරුවේ පැවති ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වැනි මහා සභා රැස්වීමට එක් වෙමිනි.

හලාවත සහ කුරුණෑගල වතුයායට අයත් සියලු ඉඩම් මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඇල්කඩුව ඇතුළු අනෙකුත් ඉඩම්ද මේ සඳහා යොදාගැනීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තවමත් භාවිතයට ගෙන නැති මහවැලි ඒ සහ බී කලාපවල වගා ප්‍රවර්ධනය කිරීමෙන් මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම රට තුළ තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ජාතික ඵලදායිතා කොමිසම ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනෙකුත් රටවල් සමඟ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම් ශක්තිමත් කරගැනීමට රජය පියවර ගනිමින් සිටින බවදප්‍රකාශ කළේය.

ජාතික ආර්ථිකයට රසකැවිලි කර්මාන්තය මඟින් දෙන දායකත්වය වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයන් අට දෙනකු වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා අතින් ඇගයීම් සම්මාන පිරිනැමිණි. මැලිබන් නිර්මාතෘ ඒ.ජී. හින්නි අප්පුහාමි, කැන්ඩොස් නිර්මාතෘ උපාලි විජේවර්ධන, එලිෆන්ට් හවුස් නිර්මාතෘ ආතර් වොන් පොස්නර්, මංචි නිර්මාතෘ මේනක වික්‍රමසිංහ, මෝතා නිර්මාතෘ ජූලියස් මෝතා, උස්වත්ත නිර්මාතෘ පී.ජේ.සී. පෙරේරා, ලකි ලෑන්ඩ් නිර්මාතෘ සිංහසාමි මුත්තයියා, චෙරිස් බිස්කට් නිර්මාතෘ විධානගේ ජෝන් අප්පුහාමි යන මහත්ම මහත්මීන් වෙනුවෙන් මේ සම්මාන පිරිනමනු ලැබීය. ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත්වරු සහ ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක් වී සිටියහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT