රට වටෙන්ම එන අයත් කාසි, නෝට්ටු ගෙනත් දීලා
රටවල් 110ක සල්ලි එකතුවට ඇතුළත්
එකතු කරන්න පටන් අරන් තියෙන්නේ අවුරුදු 20කට කලින්
සෑම පුද්ගලයකුම තම ජීවිතයේ විනෝදාස්වාදය මුල් කරගෙන කුමන හෝ කටයුත්තක නිරත වෙයි. එලෙස මුදල් හා කාසි එකතු කිරීම තම ව්‍යාපාරික ජීවිතයේ කොටසක් බවට පත් කර ගත් ශිරාන් චම්පික ද ඔහු සතු අවන්හලේ එක් කොටසක් ලොව රටවල් 110කට වැඩි ගණනක භාවිත කරන මුදල් නෝට්ටු සහ කාසි එකතුවක් සංරක්ෂණය කර කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යමින් ප්‍රදර්ශනයට තබා තිබේ.
කොළඹ 06 කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව නගරය පසුකර කුරුණෑගල දෙසට ගමන් කරන විට කපුවරල ස්ථානයේ මුදල් කෞතුකාගාරය සහිත අවන්හල පිහිටා ඇත. මුදල් නෝට්ටුවේ අගය හා සමානව එහි සෞන්දර්යාත්මක වටිනාකමට පෙම් බැඳි ශිරාන්ගේ මුදල් නෝට්ටු සහ කාසි එකතුව කෞතුකාගාරයක් බවට පත් වූයේ ඒ අයුරිනි. අවන්හලින් සේවය ලබා ගැනීමට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් මෙන්ම විදේශිකයෝ ඔහුගේ මුදල් නෝට්ටු කෞතුකාගාරය දැක බලා අගය කරති.
දෙස් විදෙස් කාසි සහ මුදල් නෝට්ටුවලට ශිරාන් දැක් වූ අසීමිත ඇල්ම නිසා ඔහුගේ කාසි එකතුව දිනෙන් දින වර්ධනය කර ගැනීමට රටේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලින්ගෙන් නෝට්ටු සහ කාසි ලැබුණු අයුරු ඔහු සිහිපත් කරන්නේ කෘතවේදීවය.
මුදල් කියන්නෙ අපිට උපතේ සිට මරණය දක්වාම සම්බන්ධ දෙයක්. මම මුදල් එකතු කරන්න පටන් ගත්තේ මීට හරියටම අවුරුදු 20කට කලින්. 2004 වර්ෂයේ ඒ වෙනකොට මා ළඟ තිබ්බෙ මගේ අම්මා මට දීපු රුපියලේ නෝට්ටුවකුයි ඩොලරයේ මුදල් නෝට්ටුවකුයි විතරයි. 2004 සුනාමිය ඇති වෙච්ච වෙලාවෙ ඒ හානිය බලන්න මම දකුණු පළාතට ගියා. තවත් පිරිසකුත් එක්ක. අපි ගියේ වාහනයක. කඩවත හරියෙදී හෝටලයක් ළඟ තේ බොන්න අපි ඒ ගිය වාහනය නැවැත්තුවා. ඒ හෝටලයට ඇතුළු වෙනකොට කැෂියර් එක ළඟ වීදුරුව යට පැරැණි මුදල් නෝට්ටු ගණනාවක් තිබ්බා. මම ඒවා දැකලා මුදලාලිගෙන් ඒ ටික බලන්න පුළුවන් ද කියලා ඇහුවා. ඒත් එයා උත්තරයක් දුන්නේ නැහැ. ඒවා අතින් වසා ගත්තා. එදා තමයි මම හිතට ගත්තේ මීටත් වඩා මුදල් එකතු කරනවා කියලා. එහෙම කාලයක් තිස්සේ හිතේ තිබුණු ඇල්ම ආශාව උනන්දුව හින්දයි මේ තරම් විශාල මුදල් එකතුවක් කරන්න මට හැකි වුණේ.
දිනපතා මගේ හෝටලයට එන පිරිස මේ මුදල් නෝට්ටු දිහා හරි ආශාවෙන් බලනවා. මට ඕන වුණේ මගේ මුදල් නෝට්ටු හංගගෙන ඉන්න නෙවෙයි. තවත් කාට හරි දැනුමට යමක් එකතු කර ගන්න දැක බලා ගන්න, ඉගෙන ගන්න, ඒවා ප්‍රදර්ශනය කරන්න. ඒ අනුවයි මම මුදල් එකතුව කෞතුකාගාරයක් වගේ හෝටලයේ කෙළවරක හදලා වීදුරු දාල ඕන කෙනකුට දැක බලා ගන්න ඉදිරිපත් කරලා තියෙන්නේ. මම හිතන්නේ නැහැ මෙතරම් දෙස් විදෙස් මුදල් කාසි එකතුවක් එකම තැනක දැක බලා ගන්න තියෙනවා කියලා. සමහරු මේ මුදල් එකතුව දැක බලාගෙන ගිහිල්ලා මට ඒ අය ගාව තියෙන මුදල් නෝට්ටු සහ කාසි පරිත්‍යාග කරලා තියෙනවා. ඒ අයගේ දිරි ගැන්වීම මට තව තවත් ශක්තියක් වුණා. මම ඉදිරියේදී තවත් මේ මුදල් එකතුව වැඩි දියුණු කරලා ප්‍රදර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. පාසල් යන නංගිලා මල්ලිලාට මේ හරහා ඉගෙන ගන්න, දැනුමට යමක් එකතු කර ගන්න අවස්ථාව තියෙනවා. මම කොච්චර කාර්යබහුල වුණත් මුදල් එකතුව සහ ඒවායේ වටිනාකම්, ඒවායේ සැඟවුණු කතා ආදිය ගැන කියලා දෙනවා. ඒ සඳහා මා ඉදිරිපත් වෙනවා. සමහර විට අපේ ජීවිතයේදී කවදාකවත් දැකලා නැති මුදල් නෝට්ටු සහ කාසි මේ එකතුවෙන් දැක බලා ගන්න පුළුවන් වේවී.
අලව්ව – ජයන්ත දිසානායක