Home » රොෂාන්ගේ තවත් නියෝගයක් ඇමැති හරීන් ආපසු හරවයි තේරීම් කමිටු පත් කිරීමට ජාතික ක්‍රීඩා සභාව ඕනෑ නෑ

රොෂාන්ගේ තවත් නියෝගයක් ඇමැති හරීන් ආපසු හරවයි තේරීම් කමිටු පත් කිරීමට ජාතික ක්‍රීඩා සභාව ඕනෑ නෑ

by sachintha
January 26, 2024 1:07 am 0 comment

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලනවල තේරීම් කමිටු පත් කිරීමේදී ඒ සඳහා වන නිර්දේශ ජාතික ක්‍රීඩා සභාව හරහා ලබාගත යුතුය යනුවෙන් කර තිබූ නියෝගය අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.

නව සංශෝධනය අනුව ඉදිරියේදී ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලනවල තේරීම් කමිටු පත් කිරීමේදී නාමයෝජනා ලේඛනය සහිත අයදුම්පත්‍ර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද පිටපතක් සහිතව ජාතික තේරීම් කමිටුව වෙත යොමු කිරීම, ජාතික තේරීම් කමිටුව විසින් එම නාමයෝජනා පිළිබඳව තම නිර්දේශිත කමිටු නාමලේඛනය අමාත්‍යාංශ ලේකම් මඟින් අනුමැතිය සඳහා විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කිරීම ප්‍රමාණවත් වනු ඇත.

මෙයට පෙර හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පනවා තිබූ නියෝග අනුව අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව හරහා ක්‍රීඩා සංගම් හා සම්මේලනවල තේරීම් කමිටු පත් කිරීමේදී නිර්දේශ ලබාගත යුතුව තිබිණි. මෙමඟින් තේරීම් කමිටු පත් කිරීමේදී කාලය නාස්තිවන බවට ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලනවල ප්‍රධානීන් නිතර මැසිවිලි නැඟූ හෙයින් කාර්යක්ෂමතාව වැඩි කිරීම උදෙසා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙම සංශෝධන ක්‍රියාත්මක කළ බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. මහේසන් මහතා ‘දිනමිණ’ට පැවසීය.

ක්‍රීඩා ඇමැතිවරයාගේ අත්සනින් යුතුව පෙරේදා ප්‍රකාශයට පත්වූ අති විශේෂ ගැසට් නිවේදනය අනුව 2022.12.14 දිනැති හා අංක 2310/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ 7 වන නියෝගයේ (xiv) ඡේදය ඉවත්කර “ජාතික ක්‍රීඩා සංගම්/ සම්මේලනවල තේරීම් කමිටුව අවුරුදු දෙකක (02) කාල සීමාවකට පත් කිරීම සඳහා අදාළ ජාතික ක්‍රීඩා සංගමය/ සම්මේලනය තම ක්‍රීඩා සංගමයට/ සම්මේලනයට අනුබද්ධ සියලු සාමාජික ආයතන නිසි පරිදි දැනුවත්කොට නාම යෝජනා ලබාගෙන, විධායක කමිටු රැස්වීමක් මඟින් වඩා සුදුසු සාමාජිකයන් දස දෙනෙකු (10) තෝරා ගැනීම කළ යුතු අතර, තෝරා ගන්නා ලද නාමයෝජනා ලේඛනය සහිත අයදුම්පත්‍ර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද පිටපතක් සහිතව ජාතික තේරීම් කමිටුව වෙත යොමු කිරීම, ජාතික තේරීම් කමිටුව විසින් එම නාමයෝජනා පිළිබඳව තම නිර්දේශිත කමිටු නාමලේඛනය අමාත්‍යාංශ ලේකම් මඟින් අනුමැතිය සඳහා විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කිරීම” යන්න ආදේශ කොට ඇත.

හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලතලවලට ඉදිරිපත්වීමේදී වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට නාමයෝජනා ලබාදිය නොහැකි යන වගන්තිය ඉවත් කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙයට සති දෙකකට උඩදී තීරණය කළේය.

එමෙන්ම නිලවරණ කමිටුව ඇතුළුව අනෙකුත් කමිටුවක තීරණයකින් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින් එම තීරණය හෝ ක්‍රියාවට එරෙහිව ක්‍රීඩා ඇමැතිවරයා වෙත ලිඛිතව අභියාචනා ඉදිරිපත් කිරීමේදී ගෙවිය යුතු ගාස්තුව රුපියල් 50,000 සිට 15,000 දක්වා පහත හෙළීමට ද ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් කටයුතු කළේය.

මේ සියලු වෙනස්කම් ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ගේ අදහස්වලට සවන්දීමෙන් අනතුරුව සිදු කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කිරීම විශේෂත්වයකි.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT