Home » වසරේ එක්දින ක්‍රීඩිකා අයිසීසී සම්මානය චමරි අතපත්තුට

වසරේ එක්දින ක්‍රීඩිකා අයිසීසී සම්මානය චමරි අතපත්තුට

by sachintha
January 26, 2024 1:08 am 0 comment

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් ඊයේ වසරේ ක්‍රීඩිකාව ලෙස නම් කරනු ලැබීය. ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම නායිකාවක හා ක්‍රීඩිකාවක වන 33 හැවිරිදි චමරි පසුගිය වසරේදී පිතිකාරිනියක ලෙස ලෝක එක්දින පිටියේ තරග 8කදී ලකුණු 415ක් රැස් කිරීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කරමින් නවසීලන්තයට එරෙහිව පළමුවරට එක්දින තරගාවලි ජයග්‍රහණයක් කරා කණ්ඩායම මෙහෙයවූවාය. 2023 වසර පුරාම කාන්තා එක්දින පිටියේදී පිතිකාරිනියක සහ නායිකාවක ලෙස ඇය අතිවිශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බව ද වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස චමරි නම් කරමින් අයිසීසීය නිවේදනයක් නිකුත් කළේය.

පසුගිය වසර ආරම්භයේදී බංග්ලාදේශයට එරෙහිව තරග 1-0ක එක්දින තරගාවලි ජයක් අත්කරදීමට කණ්ඩායම මෙහෙය වූ චමරි වර්ෂාව හේතුවෙන් එක් පිලකට ඕවර 30කට සීමා වූ එම තරගයේදී පන්දු 60කදී ලකුණු 64ක් රැස් කරමින් පිතිකාරිනියක ලෙසත් දස්කම් දැක්වූ බවත්, විශිෂ්ට නායකත්වයක් සහ පිතිහරඹයක් පෙන්නුම් කරමින් ගාල්ලේදී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට තරග 2-0ක ජයක් අත්කරදීමට සමත් වූ බවත් අයිසීසී නිවේදනයේ සඳහන් වේ. එම තරගාවලියේ පළමු තරගයේදී පන්දු 83කින් නොදැවී ලකුණු 108ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලට කඩුලු 9ක ජයක් ගෙන දුන් චමරි තුන්වැනි තරගයේදී පන්දු 80කින් නොදැවී ලකුණු 140ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් අත්කර දුන් බවත් අයිසීසී නිවේදනයේ සඳහන් කර ඇත. එම තරගයේදී පන්දු 60කින් ශතකය රැස් කරමින් කාන්තා එක්දින පිටියේ වේගවත්ම ශතකය රැස් කළ පළමු ශ්‍රී ලාංකික පිතිකාරිනිය ලෙසත්, ලොව සිව්වැනි පිතිකාරිනිය ලෙසත් ඇය වාර්තාපොතට එක් වූ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ඇගේ මේ විශිෂ්ට දස්කම් හේතුවෙන් අයිසීසීය පසුගියදා ඇය වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ සහ වසරේ කාන්තා විස්සයි20 කණ්ඩායමේ නායිකාව ලෙස නම් කරනු ලැබීය. මේ වන විට ඇය නෝර්දන් දිස්ත්‍රික් පිල නියෝජනය කරමින් නවසීලන්තයේ සුපර් ස්මෑෂ් විස්සයි20 තරගාවලියට එක්වී සිටින අතර, ඇගේ සුපිරි තුන්ඉරියව් දස්කම් හේතුවෙන් එම කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ද සමත් වී සිටී.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT