Sunday, May 19, 2024
Home » සනත් නිශාන්තගේ රියැදුරුගේ දුරකතනය සීඅයිඩීයට

සනත් නිශාන්තගේ රියැදුරුගේ දුරකතනය සීඅයිඩීයට

by sachintha
January 27, 2024 12:21 am 0 comment

රියැදුරු 5 දක්වා රිමාන්ඩ් / කන්ටේනර් රියැදුරුට ඇප

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මරණයට පත් කරමින් කටුනායක අධිවේගි මාර්ගයේ රිය අනතුර සිදු වන විට එම රිය පැදවූ රියැදුරු ලබන 5 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, කන්ටේනර් රථ රියැදුරු ඇප මත මුදාහැරීමටත් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කළේය.

මේ අතර සනත් නිශාන්ත මහතාගේ රියැදුරුගේ ජංගම දුරකතනය විමර්ශන කටයුත්තක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන තිබේ. එම රියැදුරා විසින් මේ අනතුර සිදු වීමට පෙර ‘තම මරණය’ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ පෝස්ට්ටුවක් හේතුවෙන් මෙසේ ඔහුගේ ජංගම දුරකතනය ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග කියයි. මේ වන විට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එම රියැදුරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කර ඇති බවද පොලිස් ආරංචිමාර්ග අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍යවල පළ වී තිබූ යම් පෝස්ට්ටුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව තමාටද දැනගන්න ලැබුණු බවයි.

මේ රිය අනතුර සිදු වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කළ පොලිස් විමර්ශන පවා මේ වන විට රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් අතර දැඩි කතාබහකට ලක් වී තිබේ.

ඉදිරියෙන් ගිය කන්ටේනර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගැනීම පිළිබඳ පවා මේ වන විට ඇත්තේ ආන්දෝලනාත්මක තත්ත්වයකි. ඊට මුල් වී ඇත්තේ එම රියැදුරා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවට සහ බීමත් කිරීම පරීක්ෂාවට අත්අඩංගුවට ගත් බවට පරස්පර ප්‍රකාශ දෙකක් අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අධිවේගි මාර්ග රථවාහන අංශ නිලධාරින් ප්‍රකාශ කිරීමය.

බීමත්කම පරීක්ෂා කිරීම සඳහා අත්අඩංගුවට නොගන්නා අතර පිටුපසින් පැමිණ මේ ආකාරයෙන් සිදු වන අනතුරක් සම්බන්ධයෙන් ඉදිරියෙන් ගමන් කරන රථයේ රියැදුරු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව රථවාහන අංශයේ පොලිස් නිලධාරීහු සඳහන් කරති. ඉදිරියෙන් ගමන් ගන්නා වාහනයක රියැදුරකු මෙවැනි අනතුරකදී අත්අඩංගුවට ගන්නේ නම් ඒ රථයේ රියැදුරුට අපරීක්ෂාකාරි රිය පැදවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය යුතු බවද එම නිලධාරීහු පෙන්වා දෙති. එහෙත් එවැන්නක් මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී නැතැයිද එම නිලධාරිහු කියති.

අත්අඩංගුවට ගත් කන්ටේනර් රථ රියැදුරු ඇප මත මුදාහැරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කර ඇති අතර, රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරු ලබන 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඔවුන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ පොලිසිය සැකකාර රියැදුරු සම්බන්ධයෙන් බී වාර්තාවක් මඟින් කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කර තිබේ. අදාළ රියැදුරු පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය අධාකරණය හමුවේ පවසා ඇත.

ගයාන් කුමාර වීරසිංහ, සුභාෂිණි සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT