Home » පුත්තලමේ ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්න දේශපාලනයට ආ සනත් මිය යන තෙක්ම ඒ වෙනුවෙන් කැප වුණා

පුත්තලමේ ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්න දේශපාලනයට ආ සනත් මිය යන තෙක්ම ඒ වෙනුවෙන් කැප වුණා

-ජනපති ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියයි

by sachintha
January 29, 2024 1:56 am 0 comment

ජනතා යුතුකම් ඉටු කළ සුවිශේෂී චරිතයක් -කථානායක මහින්ද යාපා අබේවර්ධන 

සනත් ජනතා හිතවාදී මහජන නියෝජිතයෙක් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ දේශපාලන, ආගමික අවශ්‍යතා හා අපේක්ෂා මුදුන්පමුණුවාලීමට දේශපාලනයට ආ දා සිට අවසන් සුසුම්පොද හෙළන තෙක් කටයුතු කළ දේශපාලනඥයෙක් ලෙස ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා හැඳින්විය හැකි යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

හදිසියේ අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳව අවමංගල්‍ය කටයුතු ආරච්චිකට්ටුවේදී ඊයේ (28) සවස සිදු කළ අතර, එම අවස්ථාවට ශෝක පණිවිඩයක් එවමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

ජනාධිපතිවරයා එවූ ශෝක පණිවිඩය පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කළේය.

“සනත් නිශාන්ත තරුණ දේශපාලනඥයා 2015 සහ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණවලදී වැඩිම මනාප ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. එතුමා පුත්තලම දිස්ත්‍රික් ජනතාවගේ අපේක්ෂා දිනවීමටයි කටයුතු කළේ. එතුමාට ඡන්දය දුන් පිරිසගේ එම අපේක්ෂා එතුමා ඉටු කළා. ඕනෑම දේශපාලනඥයකුට සියලුම ජනතා අපේක්ෂා ඉටු කළ නොහැකියි. එතුමා ඒවා ඉටු කළේ දිවා රෑ නොබලායි. අප සියලු දෙනාටම ජීවිත කාලය තුළ ඉටු කරන්නට යම් වගකීම්, යුතුකම් ප්‍රමාණයක් පැවැරෙනවා. අප අපගේ ජීවිත කාලය තුළ එය ඉටු කරනවා. සමාජයේ අපේකෂා ඉටු කරන්නට ක්‍රියා කළ දේශපාලනඥයෙක් ලෙස සනත් නිශාන්ත මහතා හැඳින්විය හැකියි.

අපි දේශපාලනයේදී හෝ සමාජ සේවාවේදී එකිනෙකාට ප්‍රේම කිරීමකින් තොරව ජයග්‍රහණයක් දිය නොහැකියි. ඒ බව ශුද්ධවූ බයිබලයේ පවා සඳහන් වෙනවා. අඳුරේ සිට ආලෝකය දෙසට වෛරය නොකළ යුතුයි. අඳුරෙන් මිදීමට අප සියලු දෙනා එක් විය යුතුයි.

සනත් නිශාන්ත තරුණ දේශපාලනඥයා සමාජයේ විවිධ පැතිකඩ, විවිධ ක්ෂේත්‍රවල නියෝජනයක් සහිත අයෙක්. ඔහුගේ වියෝව දැරිය නොහැකි පාඩුවක්. දේශපාලනයේ තිබෙන වෛරය, කුහකකම, පළිගැනීම නතර කළ යුතු කාලය එළැඹිලා. අපි සියලු දෙනා එක්වී ජනතාවට සේවය කළ යුතුයි යන පණිවිඩයයි ඔහු අද දවසේ අපට දුන්නේ.”

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ශෝක පණිවිඩය ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා මෙලෙස ඉදිරිපත් කළේය.

අපේ රජයේ ක්‍රියාකාරී මහජන නියෝජිතයකු වූ හදිසියේ අභාවප්‍රාප්ත වූ ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා දශක තුනක් ජනතාව වෙනුවෙන් ප්‍රායෝගිකව දේශපාලන, ආගමික, සාමාජික සේවාවන් ඉටු කළ අයෙක්. තමන්ගෙන් ජනතාවට ඉටු විය යුතු ඉටු කළ යුතු සේවාවන් ඉටු කිරීමට දිවා රෑ නොබලා ක්‍රියා කළ අයෙක්. එතුමා තමන් වෙත පැවරෙන ඕනෑම අමාත්‍යාංශයක භාරදූර කාර්යභාරය මනාව තේරුම් ගත් අයෙක්. ඒ වාගේම ඕනෑම කටයුත්තක් ඉටු කිරීමේදී ප්‍රගතිශීලී කඳවුරේ ජය පතා එය ඉටු කළ අයෙක්. ජයග්‍රහණයත්, පරාජයත් දෙකම එක සේ භාර ගත් අයෙක්. ජයග්‍රහණයේදී පමණක් නොවෙයි පරාජයන්හිදී ද එතුමා රජයවත්, පක්ෂයවත් අත්නොහැර සිටියා. ඕනෑම අභියෝගයක් භාරගෙන ඒවාට නොබියව මුහුණදී කටයුතු කළා. එතුමාගේ වියෝව රජයටත්, පක්ෂයටත් පුත්තලමට, වයඹ පළාතට පමණක් නොව මුළු රටටම, ජනතාවටම සිදු වූ විශාල පාඩුවක්. පුත්තලම දිස්ත්‍රික්කයේ පොදු ජනතාව වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටු කළ එතුමාගේ අභාවයෙන් දුකට පත්වී සිටින ආදරණීය බිරිය, දූ දරුවන්, ඥාතීන් තනි නොකර රැක බලාගැනීම අපගේ පක්ෂයේ නායකයන්ගේ වගකීමයි. යුතුකමයි. ඒනිසා ඔවුන් රැක බලා ගන්නා ලෙස පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

අපේ රටේ ජනමාධ්‍ය විශේෂයෙන් සමාජ මාධ්‍ය විසින් දේශපාලනඥයන් නොමරා මරනවා. ඒවාගේ පීඩාවට පත් වූ කෙනෙක් තමයි සනත් නිශාන්ත අපේ රාජ්‍ය ඇමැතිතුමා. මම මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ සමාජ මාධ්‍ය මඟින් සිදු වන සිදු කරන නොමරා මරන, කීර්ති නාමය විනාශ කරන වැඩ කටයුතුවල යම් ක්‍රියාමාර්ගයක් ගන්නට පියවර ගත යුතු බවයි.”

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ශෝක පණිවිඩය පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න මහතා ඉදිරිපත් කරමින් මෙලෙස කීවේය.

“වසර 1988දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වී සිය දේශපාලන ගමන ආරම්භ කළා. එතැනින් නොනැවතී අවස්ථා දෙකක් වයඹ පළාත් සභාවේ මැති ඇමැති ධුර දැරූ වත්මන් රජයේ ජලසම්පාදන රාජ්‍ය ඇමැතිවරයා වූ සනත් නිශාන්ත මහතාගේ හදිසි අභාවය මුළු පළාතටම සිදු වූ විශාල පාඩුවක්.

ආරච්චිකට්ටුවේ, පුත්තලමේ ඈත පිටිසර අතිදුෂ්කර ප්‍රදේශවල පොදු ජනතාවගේ සමාජ, ආර්ථික දේශපාලන, ආගමික ඕනෑම අවශ්‍යතාවකදී පෙරට ආවේ ඔහුයි. ඔහු ඉතා විශාල සංවර්ධනයක් වයඹ පළාතේ සිදු කළා. වයඹ පළාත් සභාවෙන් පාර්ලිමේන්තුව දක්වා ගිය සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී විවිධ කාරක සභාවල නියෝජිතයකු සාමාජිකයකු ලෙස කටයුතු කළා. ඔහු පුත්තලමේ ජනතාවට ආදරය කළා. ජනතාවත් ඔහුට ආදරය කළා.”

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා

“අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මහජන නියෝජිතයකු ලෙස තමන්ගේ වගකීම යුතුකම ජනතාව වෙනුවෙන් ඉටු කළ ඉතා සුවිශේෂී ගතිලක්ෂණ තිබූ ජාතික දේශපාලන නායකත්වයකට හිමිකම් කියූ අයෙක් තමයි සනත් නිශාන්ත මහතා. එතුමා නිවැරදි යැයි අවබෝධ කර ගත්, අදහන මතය වෙනුවෙන් අවංකවම, එඩිතරව, නොබියව පෙනී සිටියා. එතුමා තමන් ඇදහූ ආගම, දහමට සේම තමන් දැරී දේශපාලන මතය වෙනුවෙන් ද එක සේ පෙනී සිටියා.

එතුමාට අපේ රටේ සියලු දෙනා ඥාතීන් වාගෙයි. මිත්‍රයන් වාගෙයි. එතුමා සැලකුවේ තම පක්ෂයේ නායකත්වය පක්ෂයේ සාමාජිකයා ඡන්දදායකයා ආරක්ෂා කර ගන්නට එතුමා කොන්දේසි විරහිතව ඉදිරිපත් වුණා. නිර්භීත, අවංක, එඩිතර, ඒවාගේම කැපවීම් කළ දේශපාලනඥයෙක්. ඔහුගේ හදිසි වියෝව අපට දරා ගන්න බෑ. පිරිවිය ‌ෙනාහැකි පාඩුවක්.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති නාමල් රාජපක්ෂ මහතා මෙලෙස ඉදිරිපත් කළේය.

“ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කළ දේශපාලන ගමන සිය අවසන් සුසුම්පොද වාතලයට මුසු කරන තෙක් නොපිරිහෙලා ජනතාව වෙනුවෙන් ඉටු කළ නායකයෙක් ලෙසයි අපි සනත් නිශාන්ත මහතා හඳුනාගෙන තිබෙන්නේ. වසර 27ක් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු එතුමා අපගේ පවුලේ හිතෛෂියකු ලෙස හැඳිනගත් මුල් දිනයේ පටන් මේ අද දක්වාම කටයුතු කළා. එතුමා මිය ගිය මොහොත තෙක්ම කටයුතු කළා. අපට එතුමාගේ වියෝව දරා ගන්න බෑ. ශ්‍රී ලංකාවේ 05 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස මා තේරීපත්වීමේදී විශාල කාර්යභාරයක් ඉටු කළා. පුත්තලම දිස්ත්‍රික්කයේ නායකයා ලෙස දැවැන්ත සේවාවක් ඉටු කළා.

මතුපිටින් පෙනෙන චරිතයට වඩා එතුමා විශාල ගතිලක්ෂණවලින් හෙබි අයෙක් වුණා. සමාජ මාධ්‍ය ඇතුළු පිරිසක් එතුමාගේ චරිතයට වැරදි අර්ථකථන දුන්නා. ඒවා මඩ ප්‍රහාර. එතුමා සැබෑ දේශපාලන නායකයෙක්. ජනතා හිතවාදී මහජන නියෝජිතයෙක්.

සනත් නිශාන්ත මහතා දේශපාලනය ආරම්භ කරන්නේ මල් මාවතකින්, මල් යහනාවකින් නොවෙයි. ඉතා දුෂ්කරතා මැදයි. නමුත් ජනතාවගේ හදවත් දිනා ගන්නට එතුමාට හැකි වුණා. එතුමා දේශපාලන වශයෙන් පරාජයට පත් කරන්න බැරි අය එතුමාට මඩ, අවලාද, බොරු ප්‍රචාර යවා පරාජයට පත් කරන්නට ක්‍රියා කළා. නමුත් එතුමා ඉන් සැලුණේ නෑ. අද දින ඉතා ශෝකයට පත්වන සනත් නිශාන්ත මැතිතුමාගේ ආදරණීය බිරියගෙන්, දූ දරුවන්ගෙන් මම එක් දෙයක් ඉල්ලා සිටිනවා. ඒ තමයි ඔබ ඔබේ තාත්තා දෙස සමාජ මාධ්‍ය කියන දේවල්වලින් බලන්න එපා. ඒවා කුමක් කීවද ඔබ ඔබේ තාත්තා ඔබට දැක්වූ ආදරය, ඔබ කෙරෙහි පළ කළ සෙනෙහස පිළිබඳව විශ්වාසය තබා ඒ ඇසින් ඔහු දෙස බලන්න. විවිධ දේශපාලන මතධාරීන් කුමක් කීවද ඔහු ඉතා අවංකව, සැබෑ මානව හිතවාදියෙක්. ඔබ ඒ පමණක් විශ්වාස කරන්න.

නිවාස හා නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා

“මා සමඟ වයඹ පළාත් සභාවේ සිට අවස්ථා දෙකකදී පුත්තලම දිස්ත්‍රික් ජනතාව නියෝජනය කළ සනත් නිශාන්ත මැතිතුමා ඒ තුළ අපේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීමට සටන් කළා. ඒවා දිනා ගැනීමට ක්‍රියා කළා. අපේ පළාත් සභාවෙන් අපේ දිස්ත්‍රික්කයට නිසි තැන ගැනීමට ක්‍රියා කළා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාගර කාරියවසම් මහතා

“අපි 2016දී අලුත් දේශපාලන පක්ෂයක් හදනකොට අපිට විශාල ශක්තියක් ඇති දැවැන්ත මෙහෙවරක් ඉටු කළ පුත්තලම දිස්ත්‍රික්කයේ නායකයා වූයේ සනත් නිශාන්ත මැතිතුමායි. හරිම අව්‍යාජ දේශපාලන චරිතයක්. තමන් නිවැරදියි කියා ඇදහූ දේ වෙනුවෙන් ඔහු පෙනී සිටියා. අපේ පක්ෂය ලැබූ ජයග්‍රහණවල කොටස්කරුවෙක් ඔහු. ඒ වගේම අනාගතයේ අපේ පක්ෂ ලබන ඕනෑම ජයග්‍රහණයක හිමිකරුවෙක් ඔහු.”

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ බිරිය නීතිඥ චමරි පෙරේරා මහත්මිය

“මාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ සනත් නිශාන්ත මහතාගේ අවමංගල්‍ය කටයුතු සිදු කරන මේ මොහොතින් ඊට වැඩම කළ මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන් සියලු දෙනාටම ගෞරවය, ස්තූතිය පුද කරනවා. ජනමාධ්‍ය මේ අවස්ථාවේ විශාල කාර්යභාරයක් ඉටු කරනවා. අපේ රාජ්‍ය ඇමැතිතුමාගේ වියෝවේ සිට මේ මොහොත දක්වා විශාල ප්‍රචාරයක් සිදු කරනවා. විදත්, මුද්‍රිත, රාජ්‍ය හා පෞද්ගලික කියා කිසිම බේදයක් නැතිව එම කාර්යය ඉටු කරනවා. සමාජ මාධ්‍ය පවා විශාල කාර්යයක් ඉටු කරනවා. ඒ සියලු දෙනාටම මා අපගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා.”


ජයසිරි මුණසිංහ, පුත්තලම අතිරේක සහ මාරවිල සමූහ

ඡායාරූප – සුලෝචන ගමගේ, සුදත් මලවීර සහ පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT