දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් ලෙස සම්මුගම් කුගදාසන් මහතා පත් කර තිබේ. දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් ඇතුළු විධායක සභාව තෝරා ගැනීම සඳහා පෙරේදා (27) ත්‍රිකුණාමලයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීම් නිලවරණය ඉතා උණුසුම් හා ගාලගෝට්ටි මධ්‍යයේ අවසන් වූ අතර, පත්වූ නිලධාරීන් තමන් පිළිනොගන්නා බවට එක් පාර්ශ්වයක් පවසා කලහකාරී ලෙස හැසිරීම නිසා ඊයේ (28) දෙමළ ජාතික සන්ධානයේ නව නායකයන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු මහජන රැලිය අත්හිටුවීමට ද පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා කටයුතු කළේය.
ඊට අමතරව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. කේ. සිවඥානම් මහතාත්, භාණ්ඩාගාරික ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සිවනේසන් මහතාත් පත් වූහ. උප සභාපතිවරුන් ලෙස කේ. වී. තවරාසා, චාල්ස් නිර්මලනාදන්, කලෙයි අර්සන්, එම්. අරියනේන්ද්‍රන්, එස්. සත්‍යලිංගම් යන මහත්වරු තේරී පත්වූහ. සමලේකම්වරුන් ලෙස එම්. ඒ. සුමන්තිරන්, එස්. ශාන්තිනි, ශ්‍රී ස්කන්ධ රාජා, රංජනි කනකරාජා, කේ. සරවනබවන්, රාසමානික්‍යන් ශානක්‍යයන්, එම්. සිවමෝහන් යන මහත්ම මහත්මීහු තේරී පත් වූහ.
මෙම නිලවරණය සඳහා මධ්‍යම කාරක සභා සාමාජික සාමාජිකාවන්ට පමණක් නිලවරණය පැවැති ශාලාවට ඇතුළු වීමට අවසර හිමි වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයන්, මාධ්‍යවේදීන් ඇතුළු කිසිවෙකුටත් එහි ඇතුළු වීමට අවසර හිමි නොවූහ.
ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටී. එම්. ගුණානන්ද
218