Home » ගාල්ල සංවර්ධනය කඩිනම් කරන්න විශේෂ කොමිසමක්

ගාල්ල සංවර්ධනය කඩිනම් කරන්න විශේෂ කොමිසමක්

by sachintha
January 29, 2024 12:34 am 0 comment

ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (27) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය ආයතන සහ කාර්යාල ගාල්ල කොටුවෙන් පිටතට ගෙන ඒමේ ක්‍රියාවලියේ ඇති මන්දගාමී ස්වභාවය පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව නිලධාරීන්ට අවධාරණය කළේය. ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් සියලු ආයතන එක් ආයතනික ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළේය. ගාල්ල කොටුවේ දී එහි පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමඟ ද කතාබහකට එක්වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා අනතුරුව ඒ අසල වෙළෙඳ සලකට ද ගොස් වෙළෙඳ සල් හිමියන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ගාල්ල කොටුවේ සංවර්ධනයට අදාළව ඔවුන්ගේ ද අදහස් විමසා සිටියේය. මේ අතර ගාල්ල කොටුව ආශ්‍රිතව පැවැත්වෙන 2024 ගාලු සාහිත්‍ය උලෙළ නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27) එක් විය.

ලොව පුරා කීර්තිමත් කතුවරුන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් එක්වන මෙරට පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර සාහිත්‍ය උලෙළ වන ගාලු සාහිත්‍ය උලෙළ මෙවර පැවැත්වෙන්නේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයකි. එහි දෙවන දිනය වන ඊයේ දින ද වැඩමුළු, සාකච්ඡා, දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පැවැත්වුණු අතර, මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාහිත්‍ය විචාරකයන් සමඟ කතාබහක ද නිරත විය. අනතුරුව ජනාධිපතිවරයා එහි පොත් කුටිය වෙත ද ගොස් පොත් පරීක්ෂා කර බැලීය. ජාත්‍යන්තර සාහිත්‍ය කලා අත්දැකීම් මෙරටට ගෙන ඒමට මෙන්ම ලාංකීය සාහිත්‍ය කලාවන් ලෝකය වෙත ගෙන යාමට මහඟු අවස්ථාවක් සපයන ගාලු සාහිත්‍ය උලෙළ හේතුවෙන් මේ දිනවල ගාල්ල සහ කොග්ගල ප්‍රදේශ වෙත දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙති. ජනවාරි 25 වනදා ආරම්භ වූ ගාලු සාහිත්‍ය උලෙළ අදින් අවසන් වෙයි. අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT