Home » ජංගම දුරකතනය යොදාගනිමින් උසස් පෙළ ICT දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ සිසුවා-මිතුරා රිමාන්ඩ්

ජංගම දුරකතනය යොදාගනිමින් උසස් පෙළ ICT දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ සිසුවා-මිතුරා රිමාන්ඩ්

by sachintha
January 29, 2024 12:35 am 0 comment

අපොස උසස් පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයට අදාළ දෙවැනි ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකතනයක් භාවිත කරමින් වංචනිකව පිළිතුරු ලියූ විභාගයට පෙනී සිටි සිසුවෙකු සහ ඔහුට ඒ සඳහා සහාය වූ පුද්ගලයෙකු මුතූර් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ පුද්ගලික අයදුම්කරුවෙක් ලෙස විභාගයට පෙනී සිටි මුතූර් හී ලතීෆ් පාරේ පදිංචිකරුවෙක් වන අස්හාබ් අහමඩ් (23) නමැති අය සහ මුතූර් හී අරාබි විද්‍යාල පාරේ පදිංචිකරුවෙක් වූ එම්. සබ්රාන් (25) නමැති අයෙකි.

මුතූර් හී පිහිටි විභාග මධ්‍යස්ථානයකදී මෙම සිදුවීම වී තිබෙන්නේ පසුගිය 26 වෙනිදාය. විමර්ශනයේදී හෙළිවී ඇති ආකාරයට අනුව අයදුම්කරු විභාග ශාලාව තුළට ජංගම දුරකතනයක් සඟවාගෙන රැගෙන ගොස් ඇත. ප්‍රශ්න පත්‍රය තමා අතට ලද පසු ඔහු එම ජංගම දුරකතනයෙන් ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් ගෙන එය සිය හිතවතාට යොමුකර තිබේ. එම මිතුරා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට පිළිතුරු කඩදාසියක සටහන් කර අපේක්ෂකයාගේ ජංගම දුරකතනයට යොමුකර ඇත. එම පිළිතුරු බලාගෙන ප්‍රශ්න පත්‍රයට සිසුවා පිළිතුරු ලියා ඇති බව පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් කළ පැමිණිල්ලකට අනුව විභාගයට පිළිතුරු ලියමින් සිටි සිසුවාත් ඔහුට පිළිතුරු එවූ මිතුරාත් ජංගම දුරකතන දෙකත් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස බන්ධනාගාරගත වූ පෞද්ගලික අයදුම්කරු හා විශ්වවිද්‍යාල සිසුවා මුතූර් පදිංචිකරුවන් වන අතර, විශ්වවිද්‍යාල සිසුවාගේ 0722702829 දරන වට්ස්ඇප් අංකයට අමතරව මාතලේ ප්‍රදේශයේ තවත් අයෙකුටත් 0768354767 දරන වට්ස්ඇප් අංකයට ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප යවා පිළිතුරු ගෙන්වා ගෙන ඇති බවත් මාතලේ එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය මහේස්ත්‍රාත්වරිය හමුවේ පැවැසීය.

විභාග ශාලාව තුළ සිදුවූ මෙම සිදුවීම විභාග ශාලාධිපතිවරයා මුතූර් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ නවරත්නම් සයින්තන් මහතාට පැමිණිලි කර තිබුණි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මුතූර් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

ගයාන් කුමාර වීරසිංහ, ත්‍රිකුණාමලය විශේෂ – ඒ. ටී. එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT