Wednesday, May 7, 2025
Home » සනත් නිශාන්තගේ රියැදුරාගේ ප්‍රකාශ ගැන සැකයක්

සනත් නිශාන්තගේ රියැදුරාගේ ප්‍රකාශ ගැන සැකයක්

by sachintha
January 29, 2024 12:35 am 0 comment

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත්කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුර සිදුවූ ආකාරය ගැන එම රථය පැදවූ රියැදුරු සැබෑවක් පවසන්නේදැයි රථවාහන අංශවල සේවයේ නිරත නිලධාරීන්ට ගැටලුවක් මතු වී තිබේ.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ ජීප් රථයේ රියැදුරු පොලිසියට පවසා ඇත්තේ කන්ටේනර් රථයට සිය රථය ඉස්සර කිරීමට යාමේදී වෙනත් වාහනයක් ද ඉස්සර කිරීමට ගිය බැවින් අනතුරක් සිදුවේ යැයි සිතා තමා අනතුරක් වළක්වා ගැනීමට වාහනය වමට ගන්නා අවස්ථාවේදී කන්ටේනරයේ ගැටුණු බවය. මෙම අනතුර සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනයේදී හෙළිවී ඇති ආකාරයට අනුව රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ රථය අනතුරට ලක්වන විට පැයට කිලෝමීටර් 140ට වැඩි වේගයකින් ගමන් කර තිබී ඇත. අනතුරත් සමඟ වාහනයේ වේග මීටරය නැවතී ඇත්තේ 140ට ආසන්න ප්‍රමාණයෙනි. මෙතරම් වේගයකින් ඉදිරියට ධාවනය වෙමින් තිබුණු වාහනයක් පස්සේ ඊට වඩා වේගයෙන් වාහනයක් ධාවනය කරමින් ඉස්සර කරයි ද? යන්න රථවාහන නිලධාරීන් අතර මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නිලධාරීන් අතරද යම් සැකයකට තුඩු දී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. මෙතරම් අධික වේගයකින් අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන හැමවිටම ධාවනය වන්නේ දකුණුපස මංතීරුවේ බවද රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් පෙන්වා දෙයි. එසේ තිබියදී මෙතරම් වේගයකින් ධාවනය කරන වාහනයක් වම් තීරුවේ ගමන් කරමින් කන්ටේනර් රථයක් ඉස්සර කිරීමට යාම ගැන ද ඇත්තේ ගැටලුවක් බවද එම නිලධාරීන් සඳහන් කරති. එම නිලධාරීන් පෙන්වා දෙන්නේ බොහෝ විට මෙම අනතුර රියැදුරු පවසන ආකාරයට සිදු වී තිබේදැයි එකවරම පිළිගැනීමට අපහසු බවය. මෙම අනතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද යම් සුවිශේෂි විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත. ඒ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අනතුරට ලක්වන විට ජීප් රථය පැදවූ රියැදුරු ඊට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර තිබුණු පණිවුඩයක් මුල්කරගෙනය. ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රියැදුරාගේ ජංගම දුරකතනය ද පසුගිය 26 වෙනිදා සිය භාරයට ගත්තේය.
එම නිලධාරීන් විසින් අධිවේගී මාර්ගයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කළහොත් මෙම අනතුර සම්බන්ධයෙන් රියැදුරුගේ ප්‍රකාශවල ඇත්ත නැත්ත පැහැදිලිවම අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ද රථවාහන අංශයේ නිලධාරීන් පවසති.
ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT