Home » අධිකරණයට සැකකරුවකු වුණත් මා පෙනී ඉන්නේ මනාලයකු වෙනුවෙන්

අධිකරණයට සැකකරුවකු වුණත් මා පෙනී ඉන්නේ මනාලයකු වෙනුවෙන්

by sachintha
January 29, 2024 12:38 am 0 comment

නීතිඥයාගේ කරුණු දැක්වීමට රිමාන්ඩ් නියෝගය නවතා විත්තිකරුට ඇප

මධුසමය අතරතුර අධිකරණයේ පෙනී සිටි සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දුන් තීන්දුවක් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා‍ගේ කරුණු දැක්වීම මත වෙනස් කර, ඔහුට ඇප නියම කළ පුවතක් පාණදුර අධිකරණයෙන් වාර්තා වේ.

ඒ පාණදුර අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු ද සිල්වා මහතා හමුවේ විභාගයට ලක් වූ නඩුවකදීය.

නීතිඥයා එසේ කරුණු දැක්වූයේ දිගින් දිගටම අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් මීට පෙර ඇපකරු ලෙස ඇප වූ පුද්ගලයා නීතිඥයා හමුවේ කළ ආයාචනයක් සැලකිල්ලට ගෙනය. ඊට අනුව සැකකරු අධිකරණය මඟහැරීම මත, ඇප වූ පුද්ගලයා අපහසුතාව පත් වීම නිසා සැකකරුගෙන් අධිකරණයට පැමිණෙන ලෙස ඔහු කළ ඉල්ලීමට සැකකරු පැමිණ ඇත්තේ විවාහය අතරතුරය.
මෙහිදී ගරු අධිකරණය ඇමතූ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ දීපාල් මහතා:

“ගරු ස්වාමීනි, ඔබතුමා ඉදිරියේ පෙනී ඉන්නේ විත්තිකාරයකු වුණාට, මා පෙනී ඉන්නේ මනමාලයකු වෙනුවෙන්. මෙය සංවේදි කාරණයක් ස්වාමීනි, මොහු දිගින් දිගටම අධිකරණය මඟහැරිය පුද්ගලයකු බව පිළිගන්නවා. ඒත් ස්වාමීනි, මාගේ සේවා දායකයා මේ වන විට මනාලයෙක්. ඔහු මේ නඩුකරයට පෙනී ඉන්න ඇවිත් තියෙන්නේ සිය අතිනත ගත් මනමාලිය සමඟ මධුසමය ගත කරන අතරතුරයි. මේ වන විට මනාලිය වාද්දුවේ හෝටලයක කාමරයක තනිවම ගත කරනවා ස්වාමීනි. ඔහු විවාහ වෙලා අදට දින දෙකයි. මොහු බන්ධනාගාරගත වුව හොත් ඇති වන තත්ත්වය මා අමුතුවෙන් කිව යුතු නැහැ ස්වාමීනී. පුද්ගලයකු ජීවිතයේ ලබන වැදගත්ම සේම ලස්සනම දවස විවාහ ගිවිසගත් දවස, ඒ වගේම ඊටත් එහා ඕනෑම යුවතියකට අමතක කරන්න බැරි ලස්සනම දවස මංගල දවස; ඒ වගේම මධුසමය ගත කරන දවස. අද මොහු බන්ධනාගාරගත වුව හොත් මීට දින දෙකකට පෙර ඇරඹි පවුල් සංස්ථාව පමණක් නොවේ, ජීවිතත් නවතින්න ඉඩ තියෙනවා ස්වාමීනි, ඒ තරමටම මෙම ප්‍රශ්නය සංවේදී මානුෂික ප්‍රශ්නයක් කිව්වොත් මම නිවැරදියි කියලා හිතනවා. මේ කරුණු සලකා බලා සුදුසු ඇප මත ඔහු මුදාහරින මෙන් ගෞරවයෙන් ඇයද සිටිනවා ස්වාමීනි.”
නීතිඥයාගේ කරුණු දැක්වීම හමුවේ අදාළ විත්තිකරු රුපියල් දස දහසක ඇපකරයක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් ළහිරු ද සිල්වා මහතා නියෝග කළ අතර, ඒ නියෝගය ප්‍රකාශ වීමත් සමඟ අධිකරණයේ සිටි නීතිඥ මහත්ම මහත්මීන්ගේ දෑස් මෙන්ම අධිකරණයේ නඩුවලට පෙනී සිටි බොහෝ දෙනාගේද දෑස්වලට කඳුළු නැඟෙනු දක්නට ලැබිණි.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ, පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT