Home » ව්‍යාජ රන් භාණ්ඩ රටපුරා බැංකුවලට උකස් කර ලක්ෂ 50ක් වංචා කරලා

ව්‍යාජ රන් භාණ්ඩ රටපුරා බැංකුවලට උකස් කර ලක්ෂ 50ක් වංචා කරලා

by sachintha
January 29, 2024 12:40 am 0 comment

වසර 15ක් කට්ටි පැන්න චීවරධාරියා අත්අඩංගුවට
ව්‍යාජ රන් භාණ්ඩ රටපුරා බැංකු රැසකට උකස්කර වංචා කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් අධිකරණය මඟහැර වසර 15කට අධික කාලයක් තිස්සේ භික්ෂු වෙස්ගෙන කට්ටි පනිමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය (26) වෙනිදා සමත්ව ඇත.

මෙම පුද්ගලයාට එරෙහිව වරෙන්තු 20ක් අධිකරණවලින් නිකුත් කර තිබී ඇත. කොළඹ, හෝමගම, අවිස්සාවේල්ල යන මහාධිකරණවලින් වරෙන්තු 12ක් සහ කොළඹ කොටුව, කඩුවෙල, නුගේගොඩ, තංගල්ල යන මහේස්ත්‍රාත් අධිකරණ මඟින් වරෙන්තු 07ක් නිකුත් කර තිබී ඇත. මේ වන විටත් ඔහුට එරෙහිව නඩු 04ක් අධිකරණවල විභාගවෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම පුද්ගලයා මෙම වංචාව සිදුකර ඇත්තේ 2003 සහ 2004 කාල වකවානුවේදීය. මෙම පුද්ගලයාගේ වංචාවට හසුවූ බැංකුවල කළමනාකරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිලිවලට අනුව විමර්ශන පවත්වා එකල ඔහුව අත්අඩංගුවට ද ගෙන ඇත. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත වූ එම පුද්ගලයා ඇප ලැබීමෙන් පසු අතුරුදන්ව ඇත්තේ 2008 වසරේ සිට අධිකරණය ද මඟ හරිමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාලයක් තිස්සේ මෙම පුද්ගලයාව සොයමින් සිටියත් ඔහු ගැන තොරතුරක් ලැබී ඇත්තේ මෑතකදීය. ඒ ඔහු පොල්ගහවෙල පැත්තේ ඇති අසපුවක භික්ෂුවක් ලෙස භාවනා කටයුතුවල නිරතව සිටින බවටය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම අසපුවට ගොස් විපරම් කර බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු ඒ වන විට අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක් වන විහාරස්ථානයක භික්ෂුවක් ලෙස රැඳී සිටින බවය.

ගයාන් කුමාර විරසිංහ,රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT